සාරි පොට සහ ලෝක වාර්තාව: "මහ ඇමතිතුමා නිදහස්"

  • 2017 සැප්තැම්බර් 25
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
සාරි පොට සහ පාසල් දරුවෝ: වගකීම කාගේද?

මහනුවර ගන්නෝරුව ප්‍රදේශයේ මංගල උත්සවයක දී "ලොව දිගම සාරි පොට" සඳහා වූ ගිනස් වාර්තාව තැබීමේ අරමුණින් මනාලියගේ සැතපුම් තුනක් දිග සාරි පොට අල්ලා ගැනීමට පාසල් දරුවන් 250 ක් යොදා ගැනීම ශ්‍රී ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තර ජනමාධ්‍යවල ද අවධානයට ලක් විය.

ඒ සඳහා පාසල් දරුවන් යොදා ගැනීම සමාජ ජාල ඔස්සේ ද දැඩි විවේචනයට ලක් වූ අතර, ඒ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලකින් අනතුරුව පරීක්ෂණයක් ආරම්භ කළ බව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ සභාපතිනි නීතිඥ මරිනි ද සිල්වා බීබීසී සිංහල සේවයට කියා සිටියාය.

පාසල් ළමුන් ඒ ආකාරයෙන් පාරේ සිටවා තැබීම ළමුන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව ද ඇය සඳහන් කළාය.

මනාලියගේ සාරි පොට අල්ලා ගැනීමේ අවස්ථාවට මධ්‍යම පළාතේ මහ ඇමති සරත් ඒකනායක ද සහභාගි වී සිටියේය.

සිදුවීම සම්බන්ධයෙන් හටගත් ආන්දෝලනයෙන් අනතුරුව මධ්‍යම පළාතේ ආණ්ඩුකාර නිලූකා ඒකනායක විසින් ද ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වනු ලැබිණ.

සිය පරීක්ෂණයේ මූලික නිගමන ප්‍රකාශයට පත් කරමින් මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ ආණ්ඩුකාරවරිය කියා සිටියේ, ගිනස් වාර්තාව තැබීමේ උත්සාහය වෙනුවෙන් පාසලෙන් ළමුන් නිදහස් කිරීමේ දී මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්වරයාගේ ක්‍රියා කළාපය "පැහැදිලි නැති" බවය.

"මේ පිළිබඳව අධ්‍යාපන ලේකම් තුමාගෙන් තමයි මට ප්‍රශ්න කරන්න තියෙන්නේ. අධ්‍යාපන ලේකම්තුමා වගකීම කෙසේ නම් ඉෂ්ඨ කරලද කියල මට පැහැදිලි නෑ," ඇය සඳහන් කළාය.

ආණ්ඩුකාරවරියගේ චෝදනාවට ලක් වූ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සාකච්ඡාවට සහභාගි නොවීය.

එහෙත් ඒ අවස්ථාවේ මහ ඇමති සරත් ඒකනායකගේ වගකීම සම්බන්ධයෙන් ගැටලුවක් පැන නොනගින බව ද ආණ්ඩුකාරවරිය සඳහන් කළාය.

"මම මහ ඇමතිතුමාව නිදොස් කරනවා. මහ ඇමතිතුමා වගකීමෙන් නිදහස් වෙනවා. මොකද මහ ඇමතිතුමාට තියෙනව ලිපියක්. ඒ ලිපියේ තියෙන හැටියට මට සිද්ද වෙනවා මහ ඇමතිතුමාව නිදහස් කරන්න," ආණ්ඩුකාරවරිය කියා සිටියාය.

Image caption ආණ්ඩුකාරවරිය සමග පැවති සාකච්ඡාවට පළාත් අධ්‍යාපන ලේකම්වරයා සහභාගි නොවීය

කෙසේ නමුත් ඒ අවස්ථාවට සහභාගි වූ දරුවන්ගේ වෙහෙස පිළිබඳව මහ ඇමති සරත් ඒකනායක අවධානය පළ නොකිරීම සම්බන්ධයෙන් "පොඩි ප්‍රශ්නයක් තිබෙන" බව ඇයගේ අදහසය.

අදාළ උත්සාහය වෙනුවෙන් දරුවන් පිරිස නිදහස් කරන මෙන් ප්‍රාථමික පාසලේ විදුහල්පතිවරයාට ලිඛිත දැනුම් දීමක් කර නොමැති බවත්, ඒ පිළිබඳව විදුහල්පතිවරයාගෙන් ඉල්ලීම කර තිබෙන්නේ වාචිකව බවත් ආණ්ඩුකාරවරිය සහ පළාත් අධ්‍යාපන බලධාරීන් අතර පැවති සාකච්ඡාවේදී හෙළිදරවු කෙරිණ.

පළාත් ආණ්ඩුකාරවරියගේ කාර්යාලයේ පැවැත්වුණු රැස්වීමෙන් අනතුරුව විදුහල්පතිවරයාගේ ප්‍රතිචාරය ලබා ගැනීමට මාධ්‍යවේදීන් උත්සාහ කළ නමුත්, විදුහල්පතිවරයා කිසිම අදහසක් පළ නොකර පිටව යන ආකාරය දක්නට ලැබුණි.

සිදුවීම පිළිබඳව වැඩිදුරටත් පරීක්ෂණ පවත්වන බව ද ආණ්ඩුකාරවරිය සඳහන් කළාය.

එක්සත් ජාතීන්ගේ ළමුන් පිළිබඳ ප්‍රඥප්තියට අනුව

  • ළමයා යනු: අවුරුදු 18 පහළ සෑම අයෙකුම ළමයෙකු ලෙස සැලකේ. ඔවුන් හට මෙම ප්‍රඥප්තියේ සඳහන් සියලුම අයිතිවාසිකම් හිමි විය යුතුය.
  • අධ්‍යාපනය: අධ්‍යාපනයේ පරමාර්ථය වනුයේ ළමයාගේ පෞර්ෂත්වය, කුසලතා සහ මානසික ශාරීරික හැකියාවන් පරිපූර්ණ ලෙස වර්ධනය කිරීමයි. වගකීමෙන්, සාමකාමී නිදහස් සමාජයක ජීවත් වීමට ද සෙසු පුද්ගලයන්ගේ අයිතිවාසිකම් වටහාගෙන, පරිසරයට ගරු කරමින් ජීවත් වීමට ද අධ්‍යාපනය තුළින් ළමුන් සූදානම් කළ යුතුය.
  • ළමයාගේ මතය: කිනම් ආකාරයකින් හෝ ළමයා කෙරෙහි බලපාන තීරණයක් දෙමව්පියන් හෝ වැඩිහිටියන් විසින් ගනු ලබන විට දී තම මතය ප්‍රකාශ කිරීමට ළමයාට අයිතියක් ඇති අතර එම මතය සැලකිල්ලට ගත යුතුය.