පළාත් පාලන සංශෝධන පනත: "සම්මත කළ ආකාරය වැරදියි"

  • 2017 සැප්තැම්බර් 26
ජනපති සහ අගමැති Image copyright Getty Images

ශ්‍රී ලංකා ආණ්ඩුව පළාත් සභා මැතිවරණ (සංශෝධිත) පනත සම්මත කරගත් ආකාරය නීතිවේදීන්ගේ සහ සිවිල් සමාජ සංවිධානවල දැඩි විවේචනයට ලක් වී තිබේ.

පළාත් සභා මැතිවරණ එකම දිනයක පැවැත්වීම ඇතුළු සංශෝධන ඇතුළත් 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීම සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතර ඡන්දය පමණක් ප්‍රමාණවත් නොවන බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් මාර්ගයෙන් ද ජනතා අනුමැතිය ලබාගත යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ නිගමණය වී තිබිණ.

එම තීන්දුවෙන් අනතුරුව 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමේ උත්සාහය අත්හළ ආණ්ඩුව, ඒ වෙනුවට පළාත් සභා මැතිවරණ (සංශෝධිත) පනත කඩිනමින් සම්මත කරගැනීමට ක්‍රියා කළේය.

පළාත් සභාවල කාන්තා නියෝජනය වැඩි කිරීම අදාළ සංශෝධනය කඩිනමින් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව බව ආණ්ඩුවේ තර්කය විය.

එහෙත් කඩිමුඩියේ එම පනත සම්මත කරගත් ආකාරය ප්‍රජාතන්ත්‍රවාදී නොවන බවට විවේචකයෝ තර්ක කරති.

"අප විරෝධය පළ කරන්නේ ක්‍රමවේදයට විතරයි," ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ උදය රොහාන් ද සිල්වා බීබීසී සිංහල සේවයට පැවසීය.

Image copyright BASL
Image caption "අප විරෝධය පළ කරන්නේ ක්‍රමවේදයට විතරයි" - නීතිඥ උදය රොහාන් ද සිල්වා

"ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ස්ථාවරය තමයි, එවැනි අවස්ථාවක එලෙස කමිටු අවස්ථාවේදී සංශෝධනය කරන්න බැරි කමක් නෑ. නමුත් සංශෝධනයක් කියන එකයි, විශාල කොටස් ඇතුළත් කරන එකයි අතරේ වෙනසක් තියෙනව."

කමිටු අවස්ථාවේ පනතකට එසේ විශාල කොටසක් එක් කිරීම නීතියේ ආධිපත්‍යයට බලපෑම් කිරීමක් බව ද ඔහු සඳහන් කළේය.

මේ පිළිබඳව අගමැතිවරයා සහ ජනාධිපතිවරයා වෙත අදහස් දැක්වීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය අදහස් කළ නමුත්, සිය විරෝධය සැල වී තමන් ඇමතූ අගමැති රනිල් වික්‍රමසිංහ, පක්ෂ නායකයන් සමග හමුවක් සූදානම් කරන බවට දැනුම් දුන් බවත් සංගමයේ සභාපතිවරයා පැවසීය.

සබැඳි යොමු:

එළඹෙන අපොස සාමාන්‍ය පෙළ විභාගය හේතුවෙන් දෙසැම්බර් මාසයේ පළාත් සභා මැතිවරණ නොපවත්වා, ලබන ජනවාරි මාසයේ පැවැත්වීම පිළිබඳව ආණ්ඩුවේ විරෝධයක් නැතැයි අගමැති රනිල් වික්‍රමසිංහ ඒ අවස්ථාවේ සඳහන් කළ බවත් නීතිඥ උදය රොහාන් ද සිල්වා කියා සිටියේය.

මේ අතර ආණ්ඩුව සංශෝධිත පනත සම්මත කරගත් ආකාරය ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය ද දැඩි විවේචනයට ලක් කොට තිබේ.

විශ්ෂයෙන් කමිටු අවස්ථාවේ පනතට බරපතල සංශෝධන ගණනාවක් එක් කිරීම මගින්, එම සංශෝධන ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල දැයි ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමේ අවස්ථාව අහිමිව ගිය බව පෙන්වා දෙන ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය, කිසියම් පනතකට කමිටු අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කළ හැක්කේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග මගින් එයට අවසර තිබෙන්නේ නම් පමණක් බව ද සඳහන් කරයි.

Image copyright TISL

"කමිටු අවස්ථාවේදී පනතක මූලධර්ම සාකච්ඡා නොකළ යුතුය," යන්න ස්ථාවර නියෝග 57 හේ සඳහන් වේ.

පවතින සමානුපාතික ඡන්ද ක්‍රමය වෙනුවට මිශ්‍ර ඡන්ද ක්‍රමයක් හඳුන්වා දීමේ "ප්‍රගතිශීලී ප්‍රතිසංස්කරණ" අගය කළ යුතු වුවත් නව ඡන්ද ක්‍රමයක් හඳුන්වාදෙන අවස්ථාවක එහි මූලධර්ම පිළිබඳව පුළුල් සංවාදයක් දියත් කිරීම අත්‍යවශ්‍ය බවත් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් නව සංශෝධනයට දැඩි විරෝධය පළ කළ බව ජනමාධ්‍ය වාර්තා කොට තිබුණි.

සංශෝධනයට ආණ්ඩුව තුලින්ම මතු වූ දැඩි විරෝධය හේතුවෙන් ඒ වන විට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයට සහභාගි වෙමින් සිටි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ද නිව්යෝක් නුවර සිට මැති, ඇමතිවරුන් අමතා පනතට පක්ෂව ඡන්දය දෙන මෙන් ඉල්ලා සිටීමට සිදු වූ බවත් සන්ඩේ ටයිම්ස් පත්‍රය වාර්තා කළේය.

පළාත් පාලන පනත හදිසියේ සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව සමග කිසිදු සාකච්ඡාවක් නොපැවැත්වීම පිළිබඳව විරෝධය පාමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය ඇතුළු සාමාජිකයන් පදවියෙන් ඉල්ලා අස්වීමට සූදානම් වූ බවට ද වාර්තා පළ වින.

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර