වත්කම් බැරකම්: දඩ මුදල් ඉහළට

  • 2017 ඔක්තෝබර් 11

වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදීම පැහැර හැරීම වෙනුවෙන් මෙතෙක් පැවති රුපියල් 1,000 නොවැඩි දඩය රුපියල් 100,000 දක්වා වැඩි කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

පසුගිය කාලයේ අවස්ථා ගණනාවක වත්කම් බැරකම් ප්‍රකාශ ලබා නොදීම හේතුවෙන් වරදකරුවන් වූ දේශපාලකයන්ට මෙම රුපියල් 1,000 දඩ මුදල පැනවූ අතර ඒ ගැන සමාජයේ දැඩි විවේචන එල්ල විය.

අදාළ නඩු විභාග පැවැත්වීම සඳහා ද ඊට වඩා මුදලක් වැය කරන අවස්ථාවේ මෙම දඩ මුදල රුපියල් 1,000 ක් පමණ වීම ගැන ද විවේචන එල්ල වුණි.

නියමිත පරිදි වත්කම් හා බැරකම් ප්‍රකාශ ලබා දීම පැහැර හැරීම, එවැනි ප්‍රකාශයක අසත්‍ය තොරතුරු සඳහන් කිරීම හෝ අවශ්‍ය විටෙක අතිරේක තොරතුරු ඉදිරිපත් නොකිරීම ආදී අවස්ථාවන්හිදී නීතියෙන් වරදකරු කෙරෙන තැනැත්තෙකුට නියම වන දඬුවම රුපියල් 1,000 නොවැඩි දඩයක් සහ/හෝ වසරකට නොවැඩි කාලයක සිර දඬුවමකි.

අඛණ්ඩව වසර දෙකක් වත්කම් හා බැරකම් ප්‍රකාශ හෙළි කර නැති බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම අවසාන වරට හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට නඩු පවරා තිබුණු අතර ඔහු එයට වරද පිළිගත් අවස්ථාවේ රුපියල් 2,000 දඩයක් නියම කෙරිණි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ද සිය වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකිරීමේ නඩු තුනකට වරද පිළිගෙන තිබූ අතර ඔහුට නියම වූයේ එක් නඩුවකට රුපියල් 1,000 බැගින් රුපියල් 3000 දඩ මුදලකි.

ඒ අනුව ඊයේ (ඔක් 10) පැවති කැබිනට් මණ්ඩල හමුවේ දී අනුමැතිය හිමිව තිබෙන්නේ වර්තමාන තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, රුපියල් 1,000 වූ දඩය රුපියල් 100,000 දක්වා වැඩි කිරීමට අවශ්‍ය සංශෝධන ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් ලබා දීමට අධිකරණ ඇමතිනී තලතා අතුකෝරල ඉදිරපත් කර තිබූ යෝජනාවකට අනුවය.

පොදු මහජන අවශ්‍යතාවන් සම්බන්ධයෙන් කටයුතු කරනු ලබන තැනැත්තන් සත්‍යවාදීව, අවංකව සහ පාරදෘශ්‍ය භාවයකින් යුතුව කටයුතු කළ යුතු අතර 1975 අංක 1 දරන වත්කම් හා බැරකම් ප්‍රකාශ කිරීමේ නීතිය අනුව, එවැනි තැනැත්තන් විසින් ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් බැහැරව තමන් සතුව පවතින වත්කම් හා බැරකම් කාලීනව ප්‍රකාශයට පත් කරනු ලැබ යුතුය.

සබැඳි යොමු:

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්