ජනපති යාපනයේ සංචාරයක: 'දේශපාලන සිරකරුවන්' ගැන උද්ඝෝෂණ

  • 2017 ඔක්තෝබර් 14
ජනාධිපතිවරයා යාපනයේ උද්ඝෝෂකයන් අතරේ Image copyright ජනාධිපති මාධ්‍ය අංශය

උත්සව සහ වැඩසටහන් කිහිපයකට සහභාගීවීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යාපනයේ සංචාරයක නිරත වූ අතරවාරයේ, වසර ගණනාවක් මුළුල්ලේ අත්අඩංගුවේ පසුවන සිරකරුවන් නිදහස් කරන මෙන් ඉල්ලා සිටින පිරිසක් කළු කොඩි ඔසවා, ජනාධිපතිවරයා පැමිණෙන මග දෙපස සිට උද්ඝෝෂණයක නිරතව සිටියහ.

වව්නියාව බන්ධනාගාරයේ සිට අනුරාධපුර බන්ධනාගාරයට යවා තිඛෙන දෙමළ සිරකරුවන් තිදෙනෙකු යළිත් වව්නියාව බන්ධනාගාරයට ගෙන එන ලෙස ද ඔවුහු ඉල්ලා සිටියහ.

ඒ අවස්ථාවේ උද්ඝෝෂකයන් වෙතට ගිය ජනාධිපතිවරයා, උතුරේ හෝ දකුණේ හෝ ඕනෑම ගැටලුවක් එකම මේසයක වාඩිවී සාකච්ඡා කිරීමට සූදානම් යයි ඔවුන්ට දැනුම් දුන් බව ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ජාතික දෙමළ භාෂා දින උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සෙනසුරාදා (ඔක්තෝබර් 14) පෙරවරුවේ යාපනය හින්දු විද්‍යාලයේදී පැවැත්වුණු අතර, "එක්වෙමු - නැගිටිමු - අටුකොටු පුරවමු" ජාතික ආහාර නිෂ්පාදන සංග‍්‍රාමයේ උතුරු පළාත් වැඩසටහන ද ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

Image copyright ජනාධිපති මාධ්‍ය අංශය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වසර ගණනාවක් මුළුල්ලේ රඳවාගෙන සිටින දෙමළ සිරකරුවන් වහාම නිදහස් කිරීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමින් දෙමළ ජාතික සන්ධානයේ නායක හා විපක්ෂනායක ආර් සම්පන්දන් මන්ත්‍රීවරයා පසුගිය බ්‍රහස්පතින්දා (ඔක්තෝබර් 12) ජනාධිපතිවරයා වෙත ලිපියක් ද යොමු කොට තිබුණි.

එම සිරකරුවන් සම්බන්ධ ප්‍රශ්නය රටේ නීතිය හා සාමය සමබන්ධ ගැටලුවක් පමණක් නොව එහි දේශපාලන පැතිකඩක් ද තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ සහ නීතිපතිවරයා වෙත ද පිටපත් සහිතව යවන ලද සිය ලිපියේ සඳහන් කරන විපක්ෂනායකවරයා, එබැවින් එය දේශපාලන කරුණක් ලෙස සලකා කටයුතු කරන මෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.

විශේෂයෙන්ම පහත දැක්වෙන කරුණු ද විපක්ෂනායක ආර් සම්බන්ධන් විසින් සිය ලිපිය මගින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අවධානයට යොමු කරනු ලැබ තිබිණ:

  1. අවලංගු කරන බවට ආණ්ඩුව ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් දිගින් දිගටම ප්‍රතිඥා දී තිබෙන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඔවුන් රඳවාගෙන සිටීම
  2. ඔවුන් බොහෝ දෙනෙකුට එරෙහිව තිබෙන එකම සාක්ෂිය ඔවුන්ගේ පාපොච්ඡාරණ පමණක් වීම
  3. දිගු කළක් මෙසේ අත්අඩංගුවේ පසුවීම මගින් ඔවුන්ගේ දරු පවුල් අසරණ වීම
  4. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මීට ඉහතදී මේ ආකාරයටම අත්අඩංගුවට ගනු ලැබූ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට ආණ්ඩුව පොදු සමාවක් ප්‍රදානය කිරීම

උතුරු පළාතේ ප්‍රධාන අමාත්‍ය සීවී විග්නේශ්වරන් ද එම ඉල්ලීමම ඇතුළත් ලිපියක් පසුගිය 12 වෙනි දින රජයේ සියළුම වගකිව යුත්තන් වෙත යවා තිබුණි.

Image copyright ජනාධිපති මාධ්‍ය අංශය

දෙමළ "දේශපාලන සිරකරුවන්" නිදහස් කරණ ලෙස ඉල්ලමින් සහ සිරකරුවන් වවුනියාවේ සිට අනුරාධපුරයට මහාධිකරණයට මාරු කිරීමට එරෙහිව දෙමළ ජාතික සන්ධානයට අනුබද්ධ ස්වේච්ඡා සංවිධාන දාහතරක් දියත් කළ හර්තාලයක් හේතුවෙන් උතුරේ ප්‍රධාන නගරවල සාමාන්‍ය දෛනික කටයුතු සිකුරාදා මුළුමනින්ම අඩාල වී තිබුණි.

අනුරාධපුර බන්ධනාගාරයට මාරු කළ දිනට පසු දින සිට චූදිත එල්ටීටීඊ සැකකරුවන් තිදෙනා අනුරාධපුර බන්ධනාගාරය තුළ ආහාර වර්ජනයක නිරතව සිටිති.

ශ්‍රී ලංකාවේ කිසිදු දේශපාලන සිරකරුවෙකු නැති යන්න ආණ්ඩුවේ ස්ථාවරය බව මේ අතර අමාත්‍ය රාජිත සේනාරත්න මෙන්ම හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ද මීට ඉහතදී අවධාරණය කර තිබේ.

Image copyright President Media Unit

"අපේ රටේ හිටපු අවසාන දේශපාලන සිරකරුවා තමයි සරත් ෆොන්සේකා. එයාගෙන් පස්සේ නෑ වෙන කවුරුවත්," අමාත්‍ය විජේදාස රාජපක්ෂ 2015 අගෝස්තු මාසයේ බීබීසී දෙමළ සේවයට පැවසීය.

කෙසේ වුවත් දේශපාලන සිරකරුවන් සිය ගණනක් තවමත් ශ්‍රී ලංකාවේ බන්ධනාගාර තුළ රඳවා සිටින බව ඔවුන් නිදහස් කර ගැනීම සඳහා පිහිටුවන ලද 'සම අයිතිය ව්‍යාපාරය' ආණ්ඩුවේ ප්‍රකාශවලට ප්‍රතිචාර වශයෙන් සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා රජයේ ආරාධනාව මත මේ දිනවල ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරතව සිටින සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රෙයිෆ් ද සිකුරාදා (ඔක්තෝබර් 13) යාපනයේ සංචාරයක නිරත වී යාපනය මහජන පුස්තකාලයේ දී ප්‍රසිද්ධ දේශනයක් ද පැවැත්විය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර