කාන්තා ලිංගික හිංසනය සහ ශ්‍රී ලංකාවේ ප්‍රතිචාර

පොදු මගී සේවා, මහමග සහ වෘත්තීය ස්ථානයේ දී කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන ලිංගික හිංසනය පිළිබඳ ලොව පුරා විශාල අවධානයක් යොමු වෙමින් පවතී.

එම ගැටලුව සංවර්ධනය වෙමින් පවතින රටවලට මෙන්ම සංවර්ධිත රටවලට ද පොදු තත්ත්වයකි.

කාන්තා හිංසනය මැඩලීම සඳහා ලොව පුරා රටවල් විවිධ ක්‍රියාමාර්ගවලට යොමු වෙමින් සිටිති.

විශේෂයෙන් ලොව පුරා සිවිල් සංවිධාන මෙන්ම කලා සහ ක්‍රීඩා ඇතුළු විවිධ ක්ෂේත්‍රවලට අයත් සුපිරි තරු කාන්තා හිංසනයට එරෙහිව හඬ නගමින් සිටිති.

විශේෂයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයන් දෙපලක් වන මහේල ජයවර්ධන සහ කුමාර් සංගක්කාර ඒ සම්බන්ධයෙන් පසුගියදා පළ කළ අදහස් සමාජ ජාල ඔස්සේ විශාල වශයෙන් හුවමාරු විය.

පුරුෂයන් හා සමානව කාන්තාවන්ට ද තමන් කැමති ඇඳුමකින් සැරසීමට නිදහසක් ඇති බව පෙන්වා දුන් හිටපු ක්‍රිකට් නායකයන් දෙපල කාන්තාවන්ගේ ඇඳුම හා හැසිරීම, ඔවුන්ට එරෙහිව ලිංගික ප්‍රචණ්ඩත්වය මුදා හැරීම සඳහා නිදහසට කාරණයක් නොවන බව එහිදී අවධාරණය කර තිබිණි.

කාන්තා හිංසනය අවසන් කිරීමේ අවශ්‍යතාව පිළිබඳ පාසල් ළමුන් දැනුවත් කිරීමේ වැඩසටහනකදී එම අදහස් පළ කළ ඔවුන්ගෙන් එක් පාසල් සිසුවෙක් විමසා සිටියේ කාන්තාවන්ගේ ඇඳුම් පැළඳුම් හා හැසිරීම ඔවුන් හිංසනයට ලක් වීමට හේතුවක් නොවේදැයි යන්නය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"කාන්තාවන්ට එරෙහි හිංසනය තුරන් කරමු"

"පිරිමියෙක් වුනාම පුළුවන් වෙන්න ඕනේ, කාන්තාවක් නිරුවතින් පාරේ ගියත් අපේ මනස යහපත් ලෙස හදාගන්න," යන්න කුමාර් සංගක්කාර ඊට ලබා දුන් පිළිතුර විය.

බීබීසී සිංහල ෆේස්බුක් පිටුව තුළ පළවූ හිටපු නායකයන් දෙපල කළ එම ප්‍රකාශ ඇතුළත් වීඩියෝ පටය දස දහසට වැඩි සංඛ්‍යාවක් හුවමාරු (Share) වී තිබුණු අතර 500 ආසන්න පිරිසක් ඒ සම්බන්ධයෙන් තම අදහස් පළ කර තිබිණි.

එසේ අදහස් පළ කළ පිරිසෙන් බහුතරය පුරුෂයන් වීම ද විශේෂත්වයකි.

කෙසේ නමුත් කාන්තා හිංසනය සම්බන්ධයෙන් හිටපු ක්‍රිකට් නායකයන් පළ කළ එම අදහස් අනුමත කරමින් ඇතැම් පුරුෂයන් ඊට සහාය පළ කර තිබු අතර තවත් සමහරෙක් ඊට සිය අකමැත්ත ප්‍රකාශ කර තිබිණි.

"මෙන්න අහගනන්න ලොකය සමාජය ගැන හොඳ අවබෝධයක් තියෙන ලොවක් පිළිගත් පියවරු දෙදෙනෙක්. ක්‍රීඩකයෝ දෙදෙනෙක් හා හොඳ වැදගත් ස්වාමිපුරුෂයෝ දෙදෙනෙක්" යනුවෙන් බණ්ඩාර ඉන්දික පළ කළ අදහසට එකසිය තිස් පස් දෙනෙක් සිය කැමැත්ත (Like) පළ කර ඇත.

නමුත් මුහම්මද් රිස්වි ඊට සිය අකමැත්ත ප්‍රකාශ කරමින් සඳහන් කර තිබුණේ "පිටරටවල නටන හැම නාඩගමක්ම ලංකාවේ ආවේණික සංස්කෘතික ජීවන චර්යාවට ගැලපෙන්නේ නැත" යනුවෙනි.

Image caption "කාන්තාවන්ට පුරුෂයන්ගේ ගෞරවය හිමිවිය යුතුයි. ඇය සෙල්ලම් බඩුවක් හෝ ලිංගික ආකර්ෂණයක් නොවෙයි. පුරුෂයන් ඇයට ගරු කළ යුතු වගේම ඇය ආරක්ෂා කළ යුතුයි. සංගා කී පරිදි ගැහැණු ළමයෙකු නිරුවතින් ගියත් තමන්ගේ හිත පාලනය කර ගන්න පිරිමියෙකුට හැකියාව තිබිය යුතුයි"

මේ අතර හොලිවුඩ් පුරවරයේ බලගතු නිෂ්පාදකවරයෙකු වන හාවි වයින්ස්ටීන් ස්ත්‍රී දූෂණ සහ ලිංගික හිංසන සිදු කර ඇති බවට බරපතළ මට්ටමේ චෝදනා එල්ල වීම, කාන්තා ලිංගික හිංසනය පිළිබඳ ලෝක අවධානය යොමු වීමට ප්‍රධාන වශයෙන් හේතු විය.

ඒ සමග ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත කාන්තාවෝ #MeToo හෑෂ්ටෑගය යොදාගනිමින් තමන්ට විඳින්නට සිදු වූ ලිංගික හිංසන පිළිබඳ හෙළි කිරීමේ 'විරෝධතා ව්‍යාපාරයක්' ආරම්භ කළහ.

ලාංකික කාන්තාවන් සහ තරුණියන් ද තමන්ට මුහුණ පෑමට සිදු වූ එවන් අත්දැකීම් පිළිබඳ සිය සමාජ ජාල ඔස්සේ අදහස් පළ කර තිබිණි.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"ඔහු මගේ පියයුර ස්පර්ශ කළා"

මේ අතර පොදු මගී සේවා, මහමග සහ වෘත්තීය ස්ථානයේ දී කාන්තාවන්ට මුහුණ පෑමට සිදුවන ලිංගික හිංසනය පිළිබඳ බීබීසී සියයක් කාන්තාවෝ වැඩසටහන තුළින් ද ප්‍රමුඛත්වයක් ලබා දී ඇත.

කෙන්යාවේ කාන්තාවන් මුහුණ දෙන ලිංගික හිංසනය සම්බන්ධයෙන් රූපවාහිනී සහ ගුවන් විදුලි නිවේදිකාවක් වන අනීටා ඩෙරු බීබීසී වෙත සිය අත්දැකීම විස්තර කළාය.

තමන් ලිංගික හිංසනයට ලක් වන බව කෙන්යාවේ කාන්තාවන්ගෙන් අඩකට වැඩි පිරිසක් පවසති.

සබැඳි යොමු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර