අතුරුදහන්වීම්: "ඉන්නවද? මැරුණද? මැරුවද? මොනවද උනේ?"

යුධ සමයේ අතුරුදහන් වූ සිය ඥාතීන් සොයා දෙන මෙන් ඉල්ලමින් උතුරේ පවත්වන අඛණ්ඩ විරෝධතාවට දැන් දින 220කට වැඩිය.

කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල සිය සැමියන්ගේ හෝ දරුවන්ගේ ඡායාරූප අතැතිව දිවා රෑ නොබලා ඔවුහු විරෝධතාවයේ යෙදෙමින් සිටිති.

"මගේ මල්ලි 2008 දී මන්නාරමේදී අතුරුදහන් වුනා. අක්කගේ පුතා 2009 මැයි මාසේ හමුදාවට භාර දුන්නා. මගේ මහත්තයා 2009 ජනවාරි මාසේ අතුරුදහන්වුනා, තාම ඒ ගැන තොරතුරක් නැහැ." විරෝධතාවයේ යෙදී සිටින එස්. පරමේශ්වරී සිය පවුලේ ඥාතීන් ගැන බීබීසි වෙත පැවසුවේ එලෙසයි.

කිලිනොච්චි නගර මධ්‍යයේ A9 මාර්ගය අසල දැනට මාස 7කට වැඩි කාලයක් පරමේශ්වරී හා සියයකට ආසන්න පිරිසක් දිවා රෑ නොබලා විරෝධතාවයේ නියැලෙමින් සිටිති. ඔවුන් පැදුරු එළා එම ස්ථානයේ නිදමින් නිහඬ විරෝධතාවයේ යෙදෙන අතර තම පුත්‍රයා සොයන එක් පියෙකු හැර එහි සිටින අනිකුත් සියලු දෙනාම පාහේ තම පුරුෂයන් සොයන බිරින්දෑවරුන් හෝ පුතුන් සොයන මවුවරුන් වෙති.

"මොනවාද උනේ?"

පරමේශ්වරී මෙන්ම මෙහි සිටින සියලු දෙනාම තවමත් අතුරුදහන්වූ සිය ඥාතීන් ආණ්ඩුව විසින් යම් රහසිගත ස්ථානයක රඳවා තබනු ලැබ ඇති බව විශ්වාස කරති.

"එයාල තවමත් රහසිගත කඳවුරුවල ඉන්නවා කියලා අපි හිතනවා" පරමේශ්වරී පැවසුවාය.

"මේ පොට්ටුව තියාගෙන මැරි මැරී ජීවත්වෙන්නේ එයාල ඉන්නවා කියල හිතාගෙන. ජනාධිපතිතුමාගෙන් ආණ්ඩුවෙන් කිසිම විසඳුමක් නැහැ" යනුවෙන් ඇය හැඬූ කඳුළින් පැවසුවාය.

දරුවන් දෙදෙනකු සමග දිවිගෙවන ඇය පසුගිය වසර 8ක කාලයම වෙන්කළේ අතුරුදහන්වූ තම ඥාතීන් සොයාගැනීම වෙනුවෙනි.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
උතුරේ පවත්වන අඛණ්ඩ විරෝධතාව

"ආණ්ඩුව අපිට කියන්න ඕනේ ඒගොල්ලන්ට මොනවාද උනේ කියලා" ඇය සඳහන් කළාය.

තවත් මවක් බීබීසී සිංහල සේවය සමග අදහස් පළකරමින් පැවසුවේ හමුදාවට බාරදුන් තම දරුවා ගැන වගකීම ආණ්ඩුව සතු බවය.

"මගේ පුතා එල්ටීටීඊ"

"මගේ පුතා එල්ටීටීඊ එකේ. යුද්ධෙ ඉවරවෙලා හමුදාවට භාර දුන්නා අදටත් තොරතුරක් නැහැ. වැරදි කළා නම් උසාවියට දාල දඬුවම් දෙන්න ඕන, මෙහෙම අතුරුදහන් කරන්න පුළුවන්ද? " ඇය ප්‍රශ්න කරන්නීය.

වසර 15කට පමණ පෙර විභාගයකට කොළඹ ගොස් සිටියදී අසාධාරණ ලෙස දින 17ක් පොලිස් අත්අඩංගුවේ රඳවා සිටීම නිසා ඇතිවූ සිත් තැවුලෙන් තම පුතු එල්ටීටීඊ සංවිධානයට බැඳුණු බවත් යුද්ධය අවසන්වූ පසු ඕමන්තේ මුර පොළේදී තම පුත්‍රයා හමුදාවට භාරවුණු බවත් ඇය පැවසුවාය.

මෙම අතුරුදහන් වූවන්ගේ ඥාතීන් සමග ආණ්ඩුව සාකච්ඡා ගණනාවක් පවත්වා තිබෙන අතර ඒ කිසිවකුත් සාර්ථක වී නැත.

ඔවුන් කිසිදු රහසිගත කඳවුරක රඳවා නොමැති බවත් යුද සමයේ ඔවුන් මියයන්නට හෝ විදේශගතවන්නට ඇති බව ආණ්ඩුවේ නියෝජිතයන් මෙම මව්පියන්ට පවසා තිබෙන අතර එය පිළිගැනීමට ඔවුන් සුදානම් නැත.

රහසිගත කඳවුරු

මෑතදී උතුරේ කළ සංචාරයේදීත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඔවුන් මුණ ගැසී කෙටි සාකච්ඡාවක යෙදුනු අතර එහිදී ඔහු අවධාරණය කළේ අදාළ පුද්ගලයින් ආණ්ඩුව විසින් කිසිදු රහසිගත කඳවුරක රඳවනු ලැබ නැති බවය.

"රහසිගත කඳවුරු නැහැ. ඕනෑම තැනක රහසිගත කඳවුරක් තිබේ නම් කියන්න. ආරක්ෂාව දෙන්නම්, ගිහිල්ල හොයල බලන්න" ජනපති ඔවුන් හමුවේ කියා සිටියේය.

අතුරුදහන්වුවන්ට සිදුවුයේ කුමක්දැයි සෙවීමට ආණ්ඩුව අතුරුදහන්වුවන්ගේ කාර්යාලයක් ද පිහිටුවීමට පියවර ගෙන ඇත.

අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුවේ සභාපති බ්‍රිටෝ ප්‍රනාන්දු පැවසුවේ 1971, 1989 මෙන්ම 2009 යුධ සමයේ අතුරුදහන්වුවන්ට කුමක් සිදුවුයේදැයි පිළිතුරු ලබාදීමට සමාජය අපොහොසත්වී ඇති බවය.

"යුග 3ක, 71, 89, යුද්ධය, දකුණ, උතුර, සිංහල, දෙමළ, මුස්ලිම් අම්මලා තමන්ගේ දරුවෝ ගැන මිනිස්සු ගැන අහන සරල ප්‍රශ්නයක් තිබෙනවා සමාජයෙන්, මගේ දරුවට මොකද වුණේ ? ඉන්නවද ? මැරුණද ? මැරුවද ? මැරුවනම් ඇයි ? මැරුවනම් කොහෙද වැළලුවේ ?"

"මේ ප්‍රශ්නවලට මේ සමාජයට උත්තරදී ගන්න බැරුව ඉන්නවා" යැයි ඔහු පැවසීය.