උතුරේ පවත්වන අඛණ්ඩ විරෝධතාව
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත

උතුරේ පවත්වන අඛණ්ඩ විරෝධතාව

යුධ සමයේ අතුරුදහන් වූ සිය ඥාතීන් සොයා දෙන මෙන් ඉල්ලමින් උතුරේ පවත්වන අඛණ්ඩ විරෝධතාවට දැන් දින 220කට වැඩිය.

කිලිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවලට සිය සැමියන්ගේ හෝ දරුවන්ගේ ඡායාරූප අතැතිව දිවා රෑ නොබලා ඔවුහු විරෝධතාවයේ යෙදෙමින් සිටිති.

"මගේ මල්ලි 2008 දී මන්නාරමේදී අතුරුදහන් වුනා. අක්කගේ පුතා 2009 මැයි මාසේ හමුදාවට භාර දුන්නා. මගේ මහත්තයා 2009 ජනවාරි මාසේ අතුරුදහන්වුනා, තාම ඒ ගැන තොරතුරක් නැහැ." විරෝධතාවයේ යෙදී සිටින එස්. පරමේශ්වරී සිය පවුලේ ඥාතීන් ගැන බීබීසියට පැවසුවේ එලෙසයි.

කිලිනොච්චි නගර මධ්‍යයේ A9 මාර්ගය අසල දැනට මාස 7කට වැඩි කාලයක් පරමේශ්වරී හා සියයකට ආසන්න පිරිසක් දිවා රෑ නොබලා විරෝධතාවයේ නියැලෙමින් සිටිති. ඔවුන් පැදුරු දමා එම ස්ථානයේ නිදමින් නිහඬ විරෝධතාවයේ යෙදෙන අතර එහි තම පුත්‍රයා සොයන එක් පියෙකු හැර අනිකුත් සියලු දෙනාම පාහේ තම පුරුෂයන් සොයන බිරින්දෑවරුන් හෝ පුතුන් සොයන මවුවරුන් වෙති.

පරමේශ්වරී මෙන්ම මෙහි සිටින සියළු දෙනාම තවමත් තම අතුරුදහන්වූ ඥාතීන් ආණ්ඩුව විසින් යම් රහසිගත ස්ථානයක රඳවා තබනු ලැබ ඇති බව විශ්වාස කරති.

"එයාල තවමත් රහසිගත කඳවුරු වල ඉන්නවා කියලා අපි හිතනවා" පරමේශ්වරී පැවසුවාය.

"මේ පොට්ටුව තියාගෙන මැරි මැරී ජීවත්වෙන්නේ එයාල ඉන්නවා කියල හිතාගෙන. ජනාධිපතිතුමාගෙන් ආණ්ඩුවෙන් කිසිම විසඳුමක් නැහැ" යනුවෙනුයි ඇය හැඬූ කඳුළින් පැවසුවේ.

දරුවන් දෙදෙනකු සමග ඇය පසුගිය වසර 8ක කාලයම ගතකර ඇත්තේ තම අතුරුදහන්වූ තම ඥාතීන් සොයාගැනීම සඳහායි.

"ආණ්ඩුව අපිට කියන්න ඕනේ ඒගොල්ලන්ට මොනවාද උනේ කියලා" ඇය සඳහන් කළාය.