පියසිරිට ප්‍රතිචාර; "පාර්ලිමේන්තුවට එක බෝම්බයක් නොවෙයි සීයක් දමන්න ඕන"

  • 2017 ඔක්තෝබර් 28

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාව තුනෙන් දෙකක බහුතර ඡන්දයකින් සම්මත කර ගැනීමේ ප්‍රයත්නය පරාජය කිරීම සඳහා අවශ්‍ය කරන මන්ත්‍රීවරුන් හැත්තෑ හය දෙනකුගේ සහයෝගය ලබා ගත නොහැකිව, එම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය පෙරට ගියහොත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව මතට එක බෝම්බයක් නොව බෝම්බ සීයක් හෙළිය යුතුව ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසයි.

බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට එක්වූ මන්ත්‍රීවරයා, "යෝජිත රට බෙදන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට" අනුමැතිය දුන්නොත් මහජනතාව එම පාර්ලිමේන්තුව බිමට සමතලා කර දමනු ඇතැයි සඳහන් කළේය.

ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා එම අදහස් පළ කළේ ඔහු නියෝජනය කරන ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක බීබීසී සිංහල සේවය වෙත කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාරය පළ කරමිනි.

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් පසුගියදා විවේචනාත්මක පැහැදිලි කිරීමක නිරත වූ ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ, "නව ව්‍යවස්ථාව සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය දුන්නොත් ඒ මතට බෝම්බ හෙළිය යුතුව ඇතැයි" කියා තිබුණ අතර එම ප්‍රකාශය මුල්කර ගනිමින් දේශපාලන විවාදයක් ආරම්භ වී ඇත.

ඒ අතරවාරයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රකාශයක් කළ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක, "විමල් වීරවංශ මහතාගේ බෝම්බ ප්‍රහාර කතාව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන පක්ෂයක් විසින් නොකළ යුතු වැරදි ප්‍රකාශයක්" හැටියට දෝෂ දර්ශනයට ලක් කර තිබුණි.

Image copyright MY3MANIFESTO.COM

සිය ස්ථාවරය පිළිබඳව බීබීසිය සමඟ තවදුරටත් පැහැදිළි කිරීමක නිරත වූ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක "එම ප්‍රකාශය විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ පෞද්ගලික අදහසක් මිස පක්ෂයේ නිල මතය නොවන බව" කියා සිටියේය.

"උඩින් ගිහින් බෝම්බ දානවා කියන්නේ බරපතළ කාරණාවක්. අපි යුද්ධ තුනක් දැකල තියෙනවා. 1971,1989 සහ LTTE යුද්ධය. ලංකාවේ පාර්ලිමේන්තුව බෝම්බ ගහපු පාර්ලිමේන්තුවක්! ඒ නිසා එවැනි ප්‍රකාශයක් කිරීමේ දී රටක් විධියට බරපතළ අර්බුදකාරී තත්වයක් මතු වෙනවා. මොකක් හරි කඩාකප්පලකාරී ක්‍රියාවක් සිදු වුනොත් අපේ පක්ෂය ජාතිය ඉදිරියේ වැරදි කරුවන් වෙනවා. ඒ නිසා නායකයා වරදක් කළත් එය නිවැරදි කිරීම පක්ෂයේ ජාතික සංවිධායකයා විධියට මගේ වගකීමක්. මම ඒ නිවැරදි කිරීම සිදු කළා. මම හිතනවා එය යුක්ති සහගතයි, සාධාරනයි කියල" ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක,හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක බීබීසියට කියා සිටියේය.

විමල් වීරවංශ මන්ත්‍රීතුමා කරන ලද ප්‍රකාශය පක්ෂයේ දේශපාලන මණ්ඩලය අනුමත කරන ලද දෙයක්දැයි තමා ජාතික නිදහස් පෙරමුණේ මහලේකම්වරයාගෙන් ද විමසු බව සඳහන් කළ පියසිරි විජේනායක, පක්ෂය මගින් එවැනි ප්‍රකාශයට අනුමැතියක් දී නැති බව ලේකම්වරයා කියා සිටි බවත් පවසයි.

"අලුත් ව්‍යස්ථාව රට බෙදීමක්. රටේ ඒකීයභාවයට සහ බුදු දහමට හානියක්. ඒත් එය පරාජය කළ හැක්කේ එක්සත් ජනතා නිදහස් සන්ධානයටයි. අලුත් ව්‍යවස්ථාව පරාජය කළ හැක්කේ පාර්ලිමේන්තුවට බෝම්බ දානවා කියල මන්ත්‍රීවරුන්ට තර්ජනය කරලා භය ගන්වල අපහාස කරලා නොවෙයි. අප කළ යුත්තේ මන්ත්‍රීවරුන්ට පෞද්ගලික හානි සිදු නොකරමින් මෙය නිවැරදි දිසාවට ගෙන යන්න කියල කාරුණික ආදරණීය ඇමතුමක් කිරීමයි" ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Image copyright JNP
Image caption පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

"ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරු කියල තියෙනවා අලුත් ව්‍යවස්ථාවට ඡන්දය දෙන්නේ නැහැයි කියල. එසේ කියා තිබිය දී එම තත්වය තේරුම් නොගෙන තර්ජනාත්මකව කටයුතු කිරීම ජාතික නිදහස් පෙරමුණ වගේ පක්ෂයකට ඔබින්නේ නැහැ. මම ජාතික නිදහස් පෙරමුණේ තුන්වෙනියා. නායකයා, මහ ලේකම් සහ ජාතික සංවිධායක විධියටයි පක්ෂ ධුරාවලිය තියෙන්නේ. නායකයා කරපු ප්‍රකාශය නිවැරදි කිරීමට මම ගත්ත ක්‍රියාමාර්ගය වැරදියි කියල කාටවත් කියන්න බැහැ. මොකද? ඕනෑම පක්ෂයක වරදක් වුනොත් එම වරද පිළිගත්තොත් තමයි ජාතිය -ජනතාව ගෞරව කරන්නේ. ඒ වරද නිවැරදි කර ගැනීමට නිහතමානී නොවුනොත් එය ජනතාවට කරන වරදක්" ජාතික සංවිධායක පියසිරි විජේනායක පෙන්වා දෙයි.

එහෙත් සිය ජාතික සංවිධායකයා විසින් ඉදිරිපත් කරනු ලබන තර්ක සමඟ ජාතික නිදහස් පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර එකඟ නොවෙයි.

"පියසිරි විජේනායක සහෝදරයා හොඳ ඉතිහාසයක් ඇති කෙනෙක්, ඒත් ඔහු දේශපාලනමය වශයෙන් අකර්මණ්‍ය වෙලයි සිටියේ. දුර්මුඛ වෙලයි සිටියේ. අලුත් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අපේ පක්ෂයේ මධ්‍යම කාරක සභාව, දේශපාලන මණ්ඩලය සහ දිස්ත්‍රික් කමිටු නිරන්තරයෙන් රැස් වෙලා සාකච්ඡා කළා. ඒත් ඒ ක්‍රියාවලියට පියසිරි විජේනායක සහෝදරයා සක්‍රීය මට්ටමින් හවුල් වුණේ නැහැ." පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පවසයි.

"ඒ නිසා ඔහුට පක්ෂයේ ගමන් මාර්ගය ගැන නිසි අවබෝධයක් නැහැ. ඒ නිසා තමයි ඔහු විමල් වීරවංශ මන්ත්‍රීතුමාගේ ප්‍රකාශය සම්බන්ධයෙ අර වගේ ප්‍රකාශයක් කරන්න ඇත්තේ. ඒක අවබෝධය පිළිබඳ ප්‍රශ්නයක්." ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියි.

Image caption ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අතුරු වාර්තාව සමාජ සංවාදයකට හෙතු වී ඇත.

කෙසේවුවද, ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සම්පාදන මණ්ඩලයෙන් ඉවත්ව බෝම්බ තර්ජන ඉදිරිපත් කරනු ලැබීම අනුමත නොකරන බව ජාතික සංවිධායක පියසිරි විජේනායක කියා සිටියි.

"දේශපාලන මතවාද පක්ෂවල අභ්‍යන්තරයේත් එළියේත් කතා කෙරෙනවා. මේ කාරණය මම එළියේ කතා කරන්න හේතු වුන කාරණාවක් තියෙනව. ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයෙන් ඉවත් වුනා. ඉවත් වෙලා කියනවා- මේ ව්‍යවස්ථාවෙන් රට කැඩෙනවා කියල. ඉතින් එහෙම රට කැඩෙනවා නම් අපි ඒක කාරක සභා අවස්ථාවේ දී ලියා පෙන්වා දෙන්න තිබුණ. බෝම්බ ගහන කතා කියන්න ඉස්සර වෙලා අදාළ කාරක සභාව තුළ නියෝජනය වූ අපේ පක්ෂයේ වීරකුමාර දිසානායක මන්ත්‍රීතුමා මගින් රණ්ඩු කරලා හරි අපේ ස්ථාවරය පෙන්වා දෙන්න තිබුණා. අපි ඒ සංවාදය අත් හැරියා. ඒ නිසා අපට ලබන 30-31 සහ 01 දිනවල පාර්ලිමේන්තු විවාදයට සහභාගී වීමේ අවස්ථාවත් නැති වෙනවා. එතැනදී මහජන නියෝජිතයකු විසින් ඉටු කළ යුතු කාර්යභාරය අප විසින්ම අහිමි කර ගෙන තියෙනවා. ඒක වැරදියි. මම එය දේශපාලන මණ්ඩලය තුළ දිගින් දිගටම පෙන්වා දුන්නා" පියසිරි විජේනායක සිය ස්ථාවරය දීර්ඝ වශයෙන් විස්තර කළේය.

එහෙත් එය රට කඩන, ජාතීන් බෙදන ව්‍යවස්ථාවක් ලෙස විග්‍රහ කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර, ජාතික නිදහස් පෙරමුණ ඊට විරුද්ධ වන බව කියා සිටින්නේ එය විදේශ උවමනා අනුව කෙටුම්පත් කරන ලද යෝජනාවලියක් ලෙස හඳුන්වා දෙමිනි.

"මෙය බටහිර බලවේග සහ දෙමළ ඩයස්පෝරාවේ උවමනාවක්. ඒ සඳහා ඊනියා ව්‍යස්ථා සම්පාදක මණ්ඩලය පාර්ලිමේන්තුව තුළ අටවා ගත්තා. මෙහෙයුම කමිටුවක් සහ අනු කමිටු හයක් අටවල තියෙන්නේ- මේ රට බෙදන්නයි .එය හොඳටම පැහැදිලියි- ඉදිරිපත් කරලා තියෙන අතුරු වාර්තාවෙන්. එම අතුරු ව්‍යවස්ථාව මගින් 13 වැනි සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කෙරෙනවා. ප්‍රතිඵලය ශ්‍රී ලංකාව එකිනෙකට විරුද්ධ රාජ්‍ය තුනක් බවට බිඳී යාම, ඒ නිසා අපි මුල ඉඳලම ව්‍යස්ථා සම්පාදක සභාවට විරුද්ධ වුනා. එය බල රහිත කිරීම සඳහා අපි ඉන් ඉවත් වුනා." ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා පවසයි.

Image copyright Getty Images

"මේ ව්‍යවස්ථා ප්‍රයත්නයේ අරමුණ පැහැදිලියි. රටේ ඒකීය භාවය වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණ තුළ අපි අරගලයක් කළා. එත් ජනතා විමුක්ති පෙරමුණ ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් ලයනල් බෝපගේ විසින් ඉදිරිපත් කරන ලද දැක්ම අනුව කටයුතු කරන නිසා අපි ඉන් ඉවත්ව ජාතික නිදහස් පෙරමුණ තුළ රටේ ඒකීයභාවය වෙනුවෙන් සටන් කරමින් සිටිනවා." මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

"එනිසා මේ ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය නතර කිරීමට අපි ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයෙන් ඉවත් වෙලා රට බෙදන ව්‍යවස්ථාව පරාජය කිරීමට ජනතාව පෙළ ගස්වමින් සිටිනවා. පළාත් සභා සමගාමී ව්‍යවස්ථාව ඉවත් කිරීම , ආණ්ඩුකරුගේ බලතල ඉවත් කරනු ලැබීම, ජනාධිපති බලතල දුර්වල කළාට පස්සේ තවදුරටත් මධ්‍යම ආණ්ඩුවක් ඉතිරි වෙන්නේ නැහැ. පළාත් සභා බලවත් වෙනවා. පාර්ලිමේන්තුවෙන් වැඩක් නැති වෙනවා. එවැනි ව්‍යවස්ථාවක් සම්මත කරණ පාර්ලිමේන්තුවකින් වැඩක් නැහැ. ඒ පාර්ලිමේන්තුව බල විරහිත පාර්ලිමේන්තුවක්. රට බෙදන එවැනි ව්‍යවස්ථාවකට මන්ත්‍රීවරු අත් ඔසවනවා නම් ,එවැනි පාර්ලිමේන්තුවකට ඒක බෝම්බයක් නොවෙයි බෝම්බ සීයක් හෙළන්න ඕන කියල අපේ පක්ෂයේ දේශපාලන මණ්ඩලය විශ්වාස කරනවා . වැහි නැති හෙණ ගහන්න ඕන. අර මාතරට වැටුණ උල්කාපාතයේ ඉතිරි කොටස මේ පාර්ලිමේන්තුව මතට වැටෙන්න ඕන. මහජනතාව ඇවිත් මේ පාර්ලිමේන්තුව සමතලා කරාවි. එම දේශපාලන විශ්වාසය අනුවයි විමල් වීරවංශ සහෝදරයා ඔහුගේ පැහැදිලි කිරීම කළේ " ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා කියා සිටියේය.

එම තත්වය තේරුම් නොගනිමින් "පියසිරි විජේනායක සහෝදරයා දේශපාලන වශයෙන් අකර්මණ්‍ය වී වැරදි ආස්ථානයක් කර ගොස් සිටින අතර පක්ෂය ඒ ගැන සාකච්ඡා කරමින් සිටින" බවත් ජයන්ත සමරවීර මන්ත්‍රීවරයා පවසයි.

Image caption ශ්‍රී ලංකා පාරිමේන්තුව අභ්‍යන්තරයේ ගැටුම්කාරී මොහොතක්. විමල් වීරවංශ මන්ත්‍රීවරයා පිරිස මැද.

ඔහු පක්ෂයේ ජාතික සංවිධායක පදවියෙන් ඉවත් කරනු ලැබ ඇති බවට පළ වෙන වාර්තා සම්බන්ධයෙන් පියසිරි විජේනායක හිටපු මන්ත්‍රී වරයාගෙන් බීබීසිය විමසීමක් කළ විට තමා පක්ෂයෙන් ඉවත්ව නොයන බව කියා සිටියේය.

"මම කිසිම දේශපාලන පක්ෂයකට යන්නේ නැහැ. එහෙම යන්න මම ජාතික නිදහස් පෙරමුණෙන් ඉවත් වෙලා නැහැ, මම ජාතික සංවිධායක. මම යන්නේ නැහැ" පියසිරි විජේනායක කියා සිටියි.

"ජාතික නිදහස් පෙරමුණේ මාසික දේශපාලන මණ්ඩල රැස්වීමේ දී මාව ජාතික සංවිධායක කමින් ඉවත් කිරීමේ තීන්දුවක් අරගෙන තියෙනවා. ඒ බව පක්ෂයේ මහ ලේකම්වරයාට දැනුම් දුන්නාම ලේකම්වරයා එම තීන්දුව ප්‍රතික්ෂේප කරලා තියෙනවා. සාමාජිකයකුගේ එක ප්‍රකාශයක් නිසා කෙනෙක් ඉවත් කරන්න බැහැ. පක්ෂයේ නායකයා විධියට විමල් වීරවංශ මහත්මයා කරපු ප්‍රකාශයටත් පක්ෂයේ අනුමැතියක් ලැබිල තිබුණේ නැහැ. එහෙම නම් අපි දෙන්නම කරලා තියෙන්නේ එකම වැඩේනම් එක් කෙනෙක් විතරක් ඉවත් කරන්න බැහැ. එම පදනම අනුව මාව පක්ෂයේ ජාතික සංවිධායක කමෙන් ඉවත් කිරීමේ තීන්දුව මැතිවරණ කොමසාරිස්වරයාට දැනුම් දීම ලේකම්වරයා විසින් ප්‍රතික්ෂේප කරලා තියෙනව" ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පියසිරි විජේනායක අවධාරණයෙන් කියා සිටියේය.

සබැඳි පුවත්;

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර