"දෙමළ සිරකරුවන් නිදහස් කරන්න": යාපනය විශ්ව විද්‍යාලයේ ගේට්ටු වැසේ

  • 2017 ඔක්තෝබර් 30

යුද සමයේ අත්අඩංගුවට පත් දෙමළ සිරකරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා යාපනය විශ්ව විද්‍යාල සිසුහු අදත් (ඔක් 30) විරෝධතාවක නිරත වූහ.

විරෝධතාවේ නිරත සිසුන් විසින් යාපනය විශ්ව විද්‍යාලයට ඇතුළු වීම සඳහා ඇති සියලුම ගේට්ටු වසා දමනු ලැබ ඇත.

සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලැබෙන තෙක් විශ්ව විද්‍යාලයේ පරිපාලනමය කටයුතු අඩපණ කිරීම තම අරමුණ බව සිසුහු පවසති.

දෙමළ සිරකරුවන් නිදහස් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් යාපනය විශ්ව විද්‍යාල සිසුහු පසුගිය 19 වෙනිදා පන්ති වර්ජනයක් ආරම්භ කළහ.

වව්නියාව බන්ධනාගාරයෙන් අනුරාධපුර බන්ධනාගාරයට මාරු කර යවන ලද දෙමළ රැඳවියන් යළි වව්නියාව වෙත මාරු කරන ලෙසත් ඔවුහු ඉල්ලා සිටිති.

"දෙමළ දේශපාලන සිරකරුවන්" නිදහස් කරන මෙන් ඉල්ලා පසුගිය කාලය තුළ උතුරේ විරෝධතා ව්‍යාපාර ගණනාවක් පැවත්වුණි.

Image copyright ජනාධිපති මාධ්‍ය අංශය
Image caption විරෝධතාකරුවන් අතරට ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය 14 වෙනිදා යාපනයේ සංචාරයක නිරත වූ අතරවාරයේ, වසර ගණනාවක සිට අත්අඩංගුවේ පසුවන සිරකරුවන් නිදහස් කරන මෙන් ඉල්ලා සිටි විරෝධතාකරුවන් පිරිසක් කළු කොඩි ඔසවා, ජනාධිපතිවරයා පැමිණෙන මග දෙපස සිට උද්ඝෝෂණයක නිරත වූහ.

ඒ අවස්ථාවේ විරෝධතාකරුවන් වෙත ගිය ජනාධිපතිවරයා, උතුරේ හෝ දකුණේ හෝ ඕනෑම ගැටලුවක් එකම මේසයක වාඩිවී සාකච්ඡා කිරීමට සූදානම් යයි ඔවුන්ට දැනුම් දුන් බව ජනාධිපති කාර්යාලය නිකුත් කළ නිවේදනයක සඳහන් විය.

ශ්‍රී ලංකාවේ කිසිදු දේශපාලන සිරකරුවෙකු නැතැයි යන්න ආණ්ඩුවේ ස්ථාවරය බව අමාත්‍ය රාජිත සේනාරත්න මෙන්ම හිටපු අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ ද මීට ඉහතදී අවධාරණය කර තිබේ.

1971 සහ 1988 - 89 කාල වකවානුවේ ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයන්ට පොදු සමාව ලබා දුන්නා සේම මේ වන විට වසර ගණනාවක් අත්අඩංගුවේ පසුවන "දෙමළ දේශපාලන සිරකරුවන්" 160 දෙනාට ද පොදු සමාව දිය යුතු බව උතුරු පළාත් සභා මන්ත්‍රී එම්. කේ සිවාජිලිංගම් පසුගියදා පැවසීය.

සබැඳි යොමු:

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර