'සයිටම්' විසඳෙයිද ? ජනපති යෝජනා සම්බන්ධයෙන් විවිධ ප්‍රතිචාර

Image copyright President gov.lk
Image caption සයිටම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ වෛද්‍ය නිලධාරීන් අතර හමුවක්

සයිටම් (SAITM) ගැටලුව සම්බන්ධයෙන් රජය ඉදිරිපත් කරන විසඳුම රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය විසින් පිළිගනු ලැබීම පිළිබඳව තමා සතුටට පත් වෙන බව එම ආයතනයේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසයි.

විශේෂ නිවේදනයක් නිකුත් කරන 'සයිටම්' (SAITM) අධිපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු, රාජ්‍ය වෛද්‍ය පීඨ සිසුන් නැවත අධ්‍යාපන සහ සායනික කටයුතු සඳහා යොමු කරන ලෙසත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලීමක් ද කරයි.

"සෑම වෛද්‍ය සිසුවකුගේ සිහිනය වන්නේ වෛද්‍යවරයකු ලෙස මූලික සුදුසුකම් සපුරා පශ්චාත් උපාධි පුහුණුව සම්පූර්ණ කොට විශේෂඥ වෛද්‍යවරයකු වීම බැවින් තමා එම ඉල්ලීම කරන" බවත් වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ඉහත කී නිවේදනය මගින් කියා සිටී.

"සියලු මතභේද දුරලමින් රටේත් සිසුන්ගේත් අනාගත අභිවෘද්ධිය සඳහා සියලු දෙනා එක්ව කටයුතු කළ යුතු අතර, ශ්‍රී ලංකාව තුළ අධ්‍යාපනය ලැබීමට ඇති නිදහස ස්ථාපනය කිරීමට හැකිවීම පිළිබඳව මම සතුටු වෙමි" වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු පවසයි.

Image copyright Getty Images
Image caption සයිටම් විරෝධී වෛද්‍ය වර්ජනයක් නිසා අකර්මණ්‍ය වූ රෝහලක්

'සයිටම්' පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටලුව විසඳීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය ඉරිදා (ඔක්තෝබර් 29) ලබා දුන් විසඳුම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විවිධ අදහස් ඉදිරිපත් කරමින් සිටිති.

'සයිටම් ආයතනයට විරෝධය පළ කරමින් සිටි ඇතැම් පාර්ශ්ව ජනාධිපතිවරයාගේ යෝජනා සම්බන්ධයෙන් යහපත් ප්‍රතිචාරයක් පළ කර ඇතත්, තවත් කණ්ඩායම් එය දිගටම ප්‍රතික්ෂේප කරති.

ජනපතිගේ කමිටුවේ යෝජනා

වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දුගේ අයිතිය සහිත ලාභය පදනම් කර ගත් 'සයිටම්' වෛද්‍ය පීඨය අහෝසි කිරීම ඉදිරිපත්ව ඇති මූලික යෝජනාව වෙයි.

ඒ වෙනුවට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ අධීක්ෂණය යටතේ පවත්වා ගෙන යන 'ලාභය අරමුණු කර නොගත් ආයතනයක්' පිහිටුවීමට ජනාධිපති කමිටුව යෝජනා කරයි.

Image copyright dailyne.lk
Image caption මාලඹේ 'සයිටම්' ආයතනය

එමෙන්ම මේ වන විට 'සයිටම්' ආයතනය විසින් බඳවා ගනු ලැබ සිටින සියලු සිසුන් නව ආයතනයේ පිළිගැනීමට ලක්විය යුතු වන අතර, ස්ථාපනය කරනු ලබන යෝජිත නව ආයතනය තුළ එම සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය ලබාගැනීමේ අවස්ථාව ලැබිය යුතු බවත් එම යෝජනාවට ඇතුළත් වෙයි.

'සයිටම්' ආයතනයේ උපාධිය දැනටමත් අවසන් කර සිටින සිසුන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ උපදේශන මත රජයේ රෝහල්වල සායනික පුහුණුව සඳහා අවස්ථාව ලබා දීමත් අදාළ නිර්දේශවලට ඇතුළත්ය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් යොමු කරන ලද කෙටුම්පතට අනුව වෛද්‍ය අධ්‍යාපනය සහ පුහුණුව සම්බන්ධයෙන් ඇති අවම ප්‍රමිතීන් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ගැසට් කරනු ලැබිය යුතු වන අතර, එය මාසයක් ඇතුළත අවසන් කළ යුතුව ඇත.

මෙම සමස්ත ක්‍රියාවලිය ලබන දෙසැම්බර් 31 වෙනි දින වන විට අනිවාර්යයෙන් සම්පූර්ණ කළ යුතු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අදාළ කාරණය සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයක සඳහන් වෙයි.

ජවිපෙ ප්‍රතිචාරය

ආණ්ඩුවේ ඉහත කී යෝජනා ඉදිරිපත් කෙරුණ දිනයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විශ්ව විද්‍යාල සිසුන්, හා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂවල සහභාගිත්වයෙන් පැවැත්වූ 'සයිටම් විරෝධී රැළියේ දී ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල් කාන්ත, ඉහත කී යෝජනාවලිය බැහැර කරමින් එය ප්‍රසිද්ධියේම ඉරා දැම්මේය.

ඔහු එම පියවර ගත්තේ "සියලු දෙනාගේ විරෝධය සටහන් කරමින් මම කැමතියි මේක ප්‍රසිද්ධියේ ඉරල දාන්න" යනුවෙන් පවසමිනි.

Image caption 'සයිටම්' අධිපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු(වමේ) මාධ්‍ය හමුවකට සහභාගී වූ අවස්ථාවක්

ජනතා විමුක්ති පෙරමුණ ඉන් නොනැවතී සඳුදා (ඔක්තෝබර් 30) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආණ්ඩුව සිදු කර ඇත්තේ සයිටම් අහෝසි කිරීම නොව එහි නම වෙනස් කර යළි පවත්වා ගෙන යාමට උපක‍්‍රමයක් සොයා ගැනීම බවට චෝදනා කළේය.

"ආණ්ඩුව ප‍්‍රකාශයට පත් කළ විසඳුමෙන් ඉදිරිපත් කරනුයේ 'සයිටම්' ආයතනය අහෝසි කර වෛද්‍ය උපාධිය මුදලට විකිණීම නතර කර දැමීම නොවේ. ඒ වෙනුවට 'සයිටම්' ආයතනයේ නම පමණක් වෙනස් කොට වෛද්‍ය උපාධිය මුදලට විකිණීමේ කටයුත්ත නව හිමිකාරිත්වයකට පවරා දීමක් පමණි" ජනතා විමුක්ති පෙරමුණ එම නිවේදනය මගින් පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ස්ථාවරය

ජනතා විමුක්ති පෙරමුණ ජනපති කමිටු යෝජනා ඉහත කී පරිදි ප්‍රසිද්ධියේ ඉරා දමද්දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එම ක්‍රියාමාර්ගය අනුමත කරනු ඇතැයි එම රැළියේ වේදිකාවේ සිටි බොහෝ දෙනා විශ්වාස කළද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් ජනාධිපති කමිටු යෝජනා දෙස තමන් සුභවාදී ව බලන බව ප්‍රකාශ කළේය.

"අපට අවශ්‍ය නැහැ විසඳුම් ඉරල දාල කාලකණ්ණි තෘප්තියක් ලබන්න" රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත් අලුත්ගේ සිය සංගමයේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් කියා සිටියේය.

"මේ විසඳුම තුළ ඉතාම ධනාත්මක කාරණා රාශියක් අන්තර්ගත වෙනවා. ඒ වගේම නිවැරදි විය යුතු කාරණාත් තිබෙනවා, ඒ ගැන අපි ඉදිරියේ දී අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කරනවා " වෛද්‍යවරයා කියා සිටියේය.

Image caption සරසවි සිසු විරෝධතා ව්‍යාපාරයක්

සරසවි සිසුන් කියන්නේ මොනවාද?

ඉදිරිපත්ව ඇති යෝජනා දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය මේ අතර කියා සිටී.

ආණ්ඩුව ප්‍රකාශයට පත්කර ඇති විසඳුමට එරෙහිව ඉදිරි කාලයෙහි දැඩි ක්‍රියාමාර්ග ගැනීමට සැලසුම් කර ඇති බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්‌ඩලයේ වැඩ බලන කැඳවුම්කරු මංගල මද්දුමගේ පවසයි.

'වෛද්‍ය උපාධිය මුදලට විකිණීම නතර කරන තෙක්‌ විරෝධතා අත් නොහරින' බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්‌ඩල අවධාරණය කරයි.

එසේම වෛද්‍ය සිසුන්ගේ පන්ති වර්ජනය දිගටම පෙරට ගෙන යාම ඔවුන්ගේ ස්ථාවරය වේ.

තම ආයතනයේ උපාධිධාරීන්, සිසුන්, දෙමාපියන් මෙන්ම කාර්ය මණ්ඩලයේත් අදහස් හා යෝජනා සැලකිල්ලට ගනිමින් ඉදිරි ක්‍රියාමාර්ගයක් ගැනීම තම මතය බව රජයේ නව යෝජනා ගැන අදහස් පළ කරමින් මාලඹේ 'සයිටම්' ආයතනය කියා තිබුණි.

සබැඳි පුවත් ;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර