මැතිවරණ කොමිසම පළාත් පාලන ඡන්දයට සැරසෙයි

ඡායාරූප මූලාශ්‍රය, EPA
පළාත් පාලන ඡන්ද ලබන ජනවාරි මාසයේ පැවැත්වෙනු ඇත
පළාත් පාලන ඡන්ද විමසීම් ලබන වසරේ (2018) ජනවාරි මාසයේ 20 සහ 31 දින අතර ඉරිදා දිනයක් හෝ රජයේ නිවාඩු දිනයක් නොවන දිනක පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිසම පවසයි.
2017 නොවැම්බර් පළමු වෙනිදා මැතිවරණ කොමිෂන් සභාව විසින් ගන්නා ලද තීරණ ප්‍රකාශයට පත් කරමින් නිකුත් කර ඇති නිවේදනයක එම කාල නිර්ණය කිරීම් දැක්වෙයි.
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රියගේ අත්සනින් නිකුත් කරනු ලැබ ඇති නිවේදනය අනුව, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යවරයා විසින් පළාත් පාලන ආයතන සභික සංඛ්‍යාව දැක්වෙන ගැසට් නිවේදනය නිකුත් කර ඇති හෙයින් පළාත් පාලන මැතිවරණ පැවැත්වීම සඳහා පැවති බාධා දැන් ඉවත්ව ඇත.
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය
එම තත්වය යටතේ පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනතේ 26 වගන්තිය යටතේ තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත් කළ යුතු නාම යෝජනා කාලසීමාව (නාම යෝජනා කැඳවීමේ දැන්වීම ) නොවැම්බර් 27 දිනයෙන් ආරම්භ වෙන සතිය තුළ නිකුත් කිරීමට මැතිවරණ කොමිසම තීරණය කර ඇත.
එම නිශ්චිත දිනය පසුව නිවේදනය කරන බවත් කොමිසම පවසයි.
ඒ අනුව නාම යෝජනා කාල සීමාව එම දැන්වීම නිකුත් කරනු ලබන දිනයට පසුව එළඹෙන දාහතර වැනි දිනයෙන් ආරම්භ වී දාහත් වැනි දින මධ්‍යාහ්න දොළහට අවසන් වෙනු ඇත.
එකී නාම යෝජනා කාල සීමාව දින තුන හමාරකින් නිම වනු ඇත.
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
පළාත් සභා සහ පළාත් පාලන ඇමති ෆයිසර් මුස්තාෆා
නම යෝජනා කාල සීමාව සහ ඊට අදාළ කටයුතු නිම වීමෙන් අනතුරුව, තේරීම් භාර නිලධාරීන් විසින් නිකුත් කරනු ලබන ඡන්ද විමසීම් පිළිබඳ ගැසට් නිවේදනය මගින් ඡන්දය විමසන දිනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන බවත් ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ නිවේදනයේ දැක්වෙයි.
එම ගැසට් නිවේදනය නිකුත් කරන දිනයේ සිට සති පහකට නොඅඩු සහ සති හයකට නොවැඩි කාලසීමාව ඇතුළත ඡන්ද විමසීම පැවැත්වෙන බවත් මැතිවරණ කොමිසම පවසයි.
පළාත් පාලන ඡන්ද විමසීම් ලබන වසරේ ජනවාරි මාසයේ 20 සිට 31 අතරතුර පැවැත්වෙනු ඇතැයි මැතිවරණ කොමිසම පවසන්නේ එම කාල නිර්ණය කිරීම් අනුවයි.
ඡායාරූප මූලාශ්‍රය, Getty Images
ඡන්දය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම විසින් ඉදිරි දිනවල තීරණය කරනු ඇත.
ඉහත කී කරුණු පදනම් කර ගනිමින් පළාත් පාලන ආයතන සඳහා නාම යෝජනා කැඳවන දිනය,නාම යෝජනා කාල සීමාව සහ ඡන්දය පැවැත්වෙන දිනය මැතිවරණ කොමිසම විසින් ඉදිරි දිනවල තීරණය කරනු ඇත.
සබැඳි පුවත්;
වීඩියෝ, පළාත් පාලන මැතිවරණයට ඇති සූදානම
පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය බීබීසී සිංහල සේවය වෙත පළ කළ අදහස්.