ගීතා කුමාරසිංහට මන්ත්‍රී ධුරය අහිමිවෙයි

  • 2017 නොවැම්බර් 2
Image copyright Geetha kumarasinghe/FB

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි ගීතා කුමාරසිංහ, පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බවට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහවුරු කරනු ලැබීය.

ගීතා කුමාරසිංහට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට හැකියාවක් නොමැති බව අභියාචනාධිකරණය පසුගිය මැයි 03 වෙනිදා තීන්දු කළ අතර එම තීන්දුවට එරෙහිව ඇය ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි.

එම අභියාචනය විභාග කළ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව තහවුරු කළේය.

අභියාචනාධිකරණය විසින් ඉහත කී තීන්දුව ලබා දෙනු ලැබුවේ ගාල්ල දිස්ත්‍රික්කයේ ඡන්දදායකයින් පිරිසක් ඉදිරිපත් කළ පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුවය.

එහිදී පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ ගීතා කුමාරසිංහ ශ්‍රී ලංකාවේ මෙන්ම ස්විට්සර්ලන්තයේද පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකමක් නැතැයි තීන්දුවක් ලබාදෙන ලෙසය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වෙනි සංශෝධනය ප්‍රකාර ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරිය නොහැකිය.

තීරුබදු රහිත වාහන බලපත්‍රය

මේ අතර ගීතා කුමාරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු තැනැත්තියක් බවට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුව හමුවේ ඇය වෙත තීරුබදු සහනය යටතේ නිකුත් කරන ලද මෝටර් රථය සඳහා අදාළ බදු මුදල් වහා අය කර ගැනීමට කටයුතු කරන මෙන් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය (කැෆේ) මැයි 04 වෙනිදා ඉල්ලා සිටියේය.

ඇය වෙත රජයෙන් තීරුබදු රහිත වාහන බලපත්‍රයක් නිකුත් කොට ඇති බව කී කැෆේ සංවිධානය ඒ සඳහා රජයට අය විය යුතු බදු මුදල් සහ අධි භාරය අයකර ගැනීම සඳහා ඉක්මන් ක්‍රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා සිටියේ මහා භාණ්ඩාගාර ලේකම්වරයා සහ කථානායකවරයා වෙත ලිපියක් යොමු කරමිනි.

ගීතා කුමාරසිංහගේ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා ගාල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධාන ලයිස්තුවේ ඊළඟට සිටින හිටපු අමාත්‍ය පියසේන ගමගේ පත්වීමට නියමිතය.

සබැඳි යොමු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර