ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත චක්‍රලේඛයක්

සංරක්ෂිත ඡායාරූපයකි

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය,

සංරක්ෂිත ඡායාරූපයකි

ඉන්ධන සැපයුම සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී වාතාවරණය හමුවේ වාහන සඳහා පමණක් ඉන්ධන නිකුත් කරන ලෙස දන්වා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

ඉන්ධන සැපයුම යථා තත්ත්වයට පත් වන තෙක් වාහනවලට හැර වෙනත් ආකාරයෙන් පෙට්‍රල් නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස එම අමාත්‍යංශය සියලුම ඉන්ධන පිරවුම්හල් හිමියන් වෙත දන්වා සිටී.

පසුගියදා අයි.ඕ.සී සමාගම විසින් ගෙන්වන ලද ඉන්ධන නැව ප්‍රතික්ෂේප වීමත් සමග දෛනික අවශ්‍යතාව සැපිරීම සඳහා පමණක් ඉන්ධන බෙදා හැරීම කළමනාකරණය කිරීමට සිදු වූ බව පවසන ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය ඒ සම්බන්ධයෙන් පැතිර ගිය 'දුර්මත හේතුවෙන් පෙට්‍රල් සඳහා ක්ෂණික අනවශ්‍ය ඉල්ලුමක් නිර්මාණය වූ බව' සඳහන් කරයි.

ඒ හේතුවෙන් ඉන්ධන ලබා ගැනීම සඳහා එකවර විශාල පාරිභෝගිකයන් සංඛ්‍යාවක් පිරවුම්හල් වෙත පැමිණීමත් සමග දිගු පෝලිම් ඇති වූ බවත් ඊට අමතරව විවිධ බාහිර පුද්ගලයන් බෝතල්, කෑන් සහ වෙනත් භාජනවලට ඉන්ධන එක්රැස් කිරීමට යොමු වීම හමුවේ පිරවුම්හල් අසල දිගු පෝලිම් අවම කිරීමට බාධා ඇති වූ බවත් එම අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එවැනි තත්ත්වයක් යටතේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිරන්තර ඉන්ධන සැපයුමක් සිදු කරන ලද නමුත් එහි උපරිම වාසිය ලබා ගැනීමට දුෂ්කර තත්ත්වයක් මතුව ඇතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් උපාලි මාරසිංහගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති ඉහත කේ නිවේදනයේ සඳහන් වේ.

වීඩියෝ ශීර්ෂ වැකිය,

"උදේ ඉඳන් පෝලිමේ" - පෙට්‍රල් ගැන මහජනතාව

වාහනවලට හැර වෙනත් ආකාරයකින් පෙට්‍රල් නිකුත් කළහොත් ඇතිවන අහිතකර ප්‍රතිඵල සම්බන්ධයෙන් අදාළ ඉන්ධන පිරවුම්හල් හිමියන් වගකීම බාර ගත යුතු බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසන පරිදි ශ්‍රී ලංකාවේ දෛනික පෙට්‍රල් පරිභෝජනය මෙට්‍රික් ටොන් 1800 - 2000 ක් අතර සීමාවක පවතී.

එක්සත් ආරාබි එමිර් රාජ්‍යයේ සිට පෙට්‍රල් රැගත් නැවක් ලබන බදාදා ශ්‍රී ලංකාවට ළගා වීමට නියමිත බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා පවසයි.

සබැඳි යොමු: