හතරවෙනි දවසටත් පෙට්රල් හිඟයක් - දිග පෝලිම්

Image copyright Getty Images
Image caption ඉන්ධන පිරවුම් හල්හි පෙට්රල් නොමැති බවට මහජනයා මැසිවිලි නගති

පසුගිය සිකුරාදා (නොවැම්බර් 03) පටන් බල පැවැත්වෙන පෙට්රල් හිඟය නිසා දිවයින පුරා මහජනතාව හතර වැනි දිනයටත් දැඩි අපහසුතාවයන්ට මුහුණ දෙමින් සිටිති.

ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව රජය ප්‍රකාශ කළත් අද (නොවැම්බර් 06) වෙනිදාත් ප්‍රදේශ ගණනාවක දිග පෝලිම් දක්නට ලැබුණි.

පෙට්රල් හිඟය ආරම්භ වුණේ 'ඉන්දියන් ඔයිල් සමාගම' විසින් ආනයනය කරන ලද මෙට්‍රික් ටොන් 30000 ක් සහිත ඉන්ධන නැවක් නියමිත ප්‍රමිතියකින් තොර හෙයින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟය.

එසේම ඉන්ධන හිඟයක් ඇති වෙතැයි පළ වූ සැකයත් සමඟ බොහෝ වාහන හිමියෝ අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා යමින් පෙට්රල් මිල දී ගනිමින් ගබඩා කර ගැනීමත් හිඟයට බල පෑ බව ප්‍රකාශ වෙයි.

දෛනික පරිභෝජනයට අවශ්‍ය කරන ප්‍රමාණයට වඩා තෙල් ලබාගැනීමට ජනතාව කටයුතු කිරීමත් සමග ඉන්ධන පිරවුම්හල් රැසක් වසා දැමීමට සිදු වූ බවක් ද වාර්තා විය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"උදේ ඉඳන් පෝලිමේ" - පෙට්‍රල් ගැන මහජනතාව

"හිඟයක් ගැන කටකතා නිසා හැමෝම සිකුරාදා 'ෆුල් ටෑන්ක්' ගැහුවා. ඒ නිසා තිබුණ තෙල් ටික ඉවර වුනා" ඉන්ධන පිරවුම්හල් හිමියෙක් ප්‍රකාශ කළේය.

මේ මාසයේ ඉදිරිපත් කිරීමට නියමිත අයවැයෙන් ඉන්ධන මිල අඩු කෙරෙන බවට පැතිර ගිය කටකතා නිසා පිරවුම්හල් හිමියන් තෙල් අඩුවෙන් ගබඩා කර ගැනීමත් දැනට පවතින හිඟයට බල පා ඇත යන්න තවත් අදහසකි.

අයවැය මගින් තෙල් මිල අඩු කරනු ඇතැයි රාවයක් පැතිර ගිය විට එමගින් තමන්ට අත් වන පාඩුව වළක්වා ගැනීමේ උපක්‍රමයක් වශයෙන් අඩුවෙන් ඉන්ධන ගබඩා කිරීම පිරවුම්හල් හිමියන් බොහෝ විට සිදු කරන ක්‍රියාවකි.

මෙවර තෙල් හිඟයට එයත් බල පෑ බව රජය පවසයි.

ඉදිරි දින හතරේ පාරිභෝජනයට අවශ්‍ය පෙට්රල් තොග ඛනිජ තෙල් සංස්ථාව සතු බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මේ අතර පවසයි.

Image copyright Getty Images
Image caption සංරක්ෂිත ඡායාරූපයකි

ඛනිජ තෙල් සංස්ථාව සතුව දැනට මෙට්‍රික් ටොන් 9000ක පමණ පෙට්රල් තොග තිබෙන බව පවසන අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ, ශ්‍රී ලංකාවේ දිනක සාමාන්‍ය පෙට්රල් භාවිතය මෙට්‍රික් ටෙන් 1800 - 2000ක් අතර වන බවත් පෙන්වා දෙයි.

එක්සත් ආරාබි එමිර් රාජ්‍යයෙන් පෙට්රල් නැවක් ලබන බදාදා ශ්‍රී ලංකාවට ලඟා වීමට නියමිත බව පවසන ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්වරයා, අසීමිතව තෙල් නිකුත් නොකරන ලෙස ඉන්ධන හල් හිමියන් දැනුවත් කර තිබෙන බවද ප්‍රකාශ කළේය.

පෙට්රල් මෙට්‍රික් ටොන් 2800 ක් සඳුදා (නොවැම්බර් 06) වෙළෙඳපොළට නිකුත් කරන බව ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයේ කළමනාකාර අධ්‍යක්ෂ සංජීව විජේරත්න සඳහන් කරයි.

පිරවුම්හල්හි අද සිව් වෙනි දිනටත් දිගු පෝලිම්වල රැඳී සිටි ඉන්ධන පාරිභෝගිකයෝ මෙම අර්බුදය කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම සම්බන්ධයෙන් ආණ්ඩුවට දැඩි විවේචන එල්ල කළහ.

"ඉන්ධන තොග තියෙනවයි කියනවා - හැබැයි ෂෙඩ් එකට ආවම පෝලිම්" ඇතැමෙක් කියා සිටියහ.

Image caption පෙට්රල් හිඟය නිසා ත්‍රිරෝද කුලීරථ රියදුරන්ගේ එදිනෙදා ජිවනෝපායට බලවත් අසීරු තත්වයක්

වාහනයකට පෙට්‍රල් ලීටර් විස්සකුත් , මෝටර් සයිකලයකට ලීටර් දෙකකුත් ත්‍රිරෝද රියක් සඳහා ලීටර් තුනකුත් ලෙස සීමා කරමින් ඉන්ධන ලබා දෙන ආකාරයක් සඳුදා දක්නට ලැබුණි.

අපහසුතා මැද වුවද ඊළඟ තෙල් නැව පැමිණෙන තෙක් පරිභෝජනයට ප්‍රමාණවත් ඉන්ධන පවතින බව බලධාරීන් පවසන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසයි.

එහෙත් කටකතා සහ බෙදාහැරීම් ජාලයේ අක්‍රමිකතා නිසා රට තුළ අර්බුදයක් නිර්මාණය වී ඇති බව වෘත්තීය සමිති පිළි ගනිති.

ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසන පරිදි පෙට්රල් හිඟය නිසා ත්‍රිරෝද කුලීරථ රියදුරන්ගේ එදිනෙදා ජිවනෝපායට බලවත් අසීරු තත්වයක් උද්ගත කර ඇත.

එහෙත් ඩීසල් හිගයක් නොමැති හෙයින් පොදු ප්‍රවාහන සේවාවලට කිසිදු බලපෑමක් එල්ල වී නැත.

දුර්වල ප්‍රමිතිය නිසා ප්‍රතික්ෂේප කළ පෙට්රල් නැව තවමත් ත්‍රිකුණාමල ප්‍රදේශයේ රඳවා තබා ඇති හෙයින් එම තෙල් ගොඩ බෑමේ සැලැස්මක් ඇද්දැයි තමන්ට සැක මතු වෙන බව මේ අතර ඛනිජ තෙල් වෘත්තීය සමිති කියා සිටිති.

"රට තුල පෙට්රල් අර්බුදයක් ඇති කරමින් එම තෙල් තොගය රට තුළට ගෙන ඒමේ උත්සාහයක්" තිබුණ බව ඔවුහු පවසති.

එම තෙල් තොගය කිසිසේත්ම රට තුළට ගොඩ නොබාන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ පවසයි.

මේ අතර ප්‍රකාශයක් කරන ඛනිජ තෙල් කටයුතු භාර ඇමති අර්ජුන රණතුංග දින තුනක් ඇතුළත "පෙට්රල් අර්බුදය විසඳීමට" පියවර ගන්නා බව සඳහන් කළේය.

සබැඳි පෙර පුවත්;

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර