අය වැය: මොකද්ද මේ ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ද ?

  • 2017 නොවැම්බර් 9
ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"කුඩා වාහන මිල අඩුවෙනවා"

ආණ්ඩුව ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ද පැනවූයේ සතුටින් නොවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේ 2018 අයවැය ඉදිරිපත් කිරීමෙන් පසුව බීබීසි සිංහල සේවය සමග සාකච්ඡාවකට එක්වෙමිනි.

2018 වසර සඳහා වන අය වැය ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය මංගල සමරවීර කියා සිටියේ, බැංකු විසින් සිදුකරන සියලු ගනුදෙනු සඳහා රුපියල් 1000කට සත විස්සක අනුපාතයක් අනුව විශේෂ බද්දක් පැනවීමට යෝජනා කරන බවය.

එය ණය ආපසු ගෙවීමේ විශේෂ බද්ද ලෙස හැඳින්වූ මුදල් අමාත්‍යවරයා, ඉදිරි වසර තුන ඇතුළත ගෙවීමට නියමිත රුපියල් බිලියන 7,000ක ණය මුදල ගෙවීමට එය යොදාගන්නා බවත් කියා සිටියේය.

"මේක සතුටින් දාපු බද්දක්ම නෙවෙයි. හුඟක් වාද විවාද කළා අපි. මේ විශේෂ බද්ද පාරිභෝගිකයන්ගෙන් අය කරගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ, ඒක බැංකුව ගෙවන්න ඕන," රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න පැවසීය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
අයවැය 2018: පක්ෂ විපක්ෂ අදහස්

සිය අයවැය කතාවේදී "මැදමුලන බද්ද" ලෙස ද මුදල් අමාත්‍යවරයා විග්‍රහ කළ මෙම බද්ද මගින් 2018 වසරේ දී රුපියල් මිලියන 20,000ක් ආදායමක් උපයා ගැනීමට රජය බලාපොරොත්තු වෙයි.

වාහන බදු වලින් පමණක් 2018 වසරේ රජයේ අපේක්ෂිත සම්පුර්ණ ආදායම රුපියල් මිලියන 25,000කි.

ඒ පිළිබඳව අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න කියා සිටියේ කුඩා වාහනවල මිල අඩුකර රජය සුඛෝපභෝගී වාහනවල මිල වැඩිකළ බවය.

සබැඳි යොමු:

සබැඳි විෂයයන්