වධ බන්ධන චෝදනා: එක්සත් ජනපද මන්ත්‍රී කමිටුවක අවධානය

වධ බන්ධන Image copyright Ahrc

ශ්‍රී ලංකා පොලිසියට එරෙහිව එල්ල වී තිබෙන වධ බන්ධන පැමිණවීමේ චෝදනා පිළිබඳව නිසි පරීක්ෂණ පවත්වනතුරු එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමග හමුදාමය සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම පිළිබඳව යළිත් වරක් සිතා බැලිය යුතු බව එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විදේශ කටයුතු පිළිබඳ කමිටුවේ ඩිමොක්‍රටික් පාක්ෂික සභිකයෝ පවසති.

කමිටු සාමාජිකයන් ඒ බව සඳහන් කරන්නේ, ශ්‍රී ලංකාවේදී තමන් බරපතල වධ බන්ධනවලට ලක් කළ බවට යුරෝපයේ දේශපාලන රැකවරණ පතා සිටින දෙමළ පුරුෂයන් 50 කට අධික පිරිසක් එල්ල කරන චෝදනා අළලා ජාත්‍යන්තර පුවත් ආයතනයක් සකස්කළ වාර්තාවක් වොෂිංටන් පෝස්ට් පුවත්පතේ පළවීමෙන් අනතුරුව එය උපුටා දක්වමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමිනි.

එම පුරුෂයන් එල්ල කරන චෝදනාව පිළිබඳ දීර්ඝ වාර්තාවක් ජාත්‍යන්තර පුවත් ආයතනයක් විසින් පසුගිය සතියේ ප්‍රකාශයට පත් කරනු ලැබිණි.

තමන් සිය නිවාසවලින් හෝ මහ මග සිටියදී පැහැර ගෙන ගොස්, දෑස් බැඳ, රැඳවුම් කඳවුරුවලට රැගෙන ගොස් කොටි සංවිධානය සමග කටයුතු කළ බවට චෝදනා කරමින් වධ බන්ධනවලට ලක් කළ බවට ඔවුන්ගෙන් බොහෝ දෙනා චෝදනා කරති.

බොහෝ අවස්ථාවල පොලිස් අපරාධ විමර්ශන ඒකකයේ සාමාජිකයන් ලෙසින් හඳුන්වා ගත් තමන් පැහැරගත් පුද්ගලයන්, සිය ශරීරවල කොටින්ගේ පුල්ලි වැනි ලකුණු ඇතිවෙන ආකාරයෙන් ගිනියම් යකඩ කූරුවලින් සිය ශරීර පිළිස්සූ බව ද ඒ අතරින් වැඩි පිරිසක් පවසති.

Image copyright Twitter

පසුගිය වසරේ මුල භාගයේ සිට මේ වසරේ ජූලි මාසය දක්වා කාලය ඇතුළත තමන් වධ බන්ධනවලට ලක් කළ බව පවසන පුරුෂයන් 20 දෙනෙකු මුහුණ දුන් අත්දැකීම් ඇසුරෙන් සිය වාර්තාව සකස් කළ බව පවසන පුවත් ආයතනය, ඒ අතරින් බොහෝ දෙනා ලිංගික හිංසනයට හෝ දූෂණයට ලක් කර ඇති බවත් සඳහන් කරයි.

වාර්තාව පවසන පරිදි ඇතැම්විට ඔවුන් ලිංගික හිංසනයට ලක් කරනු ලැබ තිබෙන්නේ කටු කම්බි ඔතන ලැබූ මුගුරු යොදා ගනිමිනි.

සිය පවුල්වල සාමාජිකයන් විසින් තමන් පැහැරගනු ලැබූ පුද්ගලයන්ට විශාල කප්පම් මුදල් ගෙවනු ලැබීමෙන් අනතුරුව ඔවුන්ගෙන් නිදහස් වී ශ්‍රී ලංකාවෙන් පලා ගිය බව ද ඔවුන්ගෙන් බොහෝ දෙනා පුවත් ඒජන්සියට පවසා තිබේ.

සබැඳි යොමු:

පුවත් ඒජන්සියේ වාර්තාව ගාඩියන්, දි ඉන්ඩිපෙන්ඩන්ට්, නිව්යෝක් ටයිම්ස් සහ වොෂින්ටන් පෝස්ට් ඇතුළු ලොව පුරා පළ වෙන බොහෝ පුවත්පත් විසින් වාර්තා කරනු ලැබ තිබිණි.

මේ අතර එම වාර්තාව පිළිබඳව වොෂිංටන් පෝස්ට් පුවත්පතේ කතුවරයා වෙත ලිපියක් යොමු කරන ශ්‍රී ලංකා විදේශ අමාත්‍යංශයේ ලේකම් ප්‍රසාද් කාරියවසම්, කවර හෝ වධ හිංසා පැමිණවීමක් ශ්‍රී ලංකා රජය තරයේ හෙළා දකින අතරම එවැනි චෝදනා පිළිබඳව නීතිය ක්‍රියාත්මක කරන බව ද අවධාරණය කර තිබේ.

Image copyright Getty Images

ඉදිරියටත් එවැනි විමර්ශන සඳහා රටින් පිටත සිට හෝ සාක්ෂි ලබා දෙන මෙන් ඉල්ලීමක් කරන විදේශ අමාත්‍යාංශ ලේකම්වරයා, වධ හිංසා පැමිණවීම වැළැක්වීම පිණිස සම්මුතිවාදී ආණ්ඩුව විසින් මෙතෙක් ගනු ලැබ ඇති පියවර පිළිබඳව දීර්ඝ විස්තරයක් ද සිය ලිපියේ දක්වා තිබේ.

විශේෂයෙන්ම, පහරදීම සහ වධ හිංසා පැමිණවීම සම්බන්ධ චෝදනා ලැබූ පොලිසියේ සාමාජිකයන් 33 දෙනෙකුට එරෙහිව මේ වසර (2017) තුළ විනය ක්‍රියාමාර්ග ගෙන තිබෙන බව පෙන්වා දෙන විදේශ අමාත්‍යාංශ නිවේදනය, ඒ අතරින් එක් නිලධාරියෙකු සේවයෙන් නෙරපා ඇති බව ද සඳහන් කරයි.

තවත් පොලිස් නිලධාරීන් 100 දෙනෙකුට එරෙහි විනය ක්‍රියාමාර්ග පිළිබඳව තීරණ ගැනීමට නියමිත බව ද එහි වැඩිදුරටත් දැක්වේ.

මේ අතර පසුගිය වසරේ ජුනි මාසයේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ඊට පෙර වසරේ ලද පැමිණිලි 413 කින් වැඩි වශයෙන් චෝදනා එල්ල කෙරෙන්නේ පොලිසියට බව සඳහන් කළාය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්