කාන්තාවන් දේශපාලනයට පැමිණෙන්නේ පවුල් පසුබිම මත පමණක්ද?

  • 2017 නොවැම්බර් 14

රටෙන් හරි අඩකටත් වඩා කාන්තාවන් සිටියත් ශ්‍රී ලංකාවේ ක්‍රියාකාරී දේශපාලනයේ යෙදෙන කාන්තාවන් ගණන ඉතා සුළු අගයක් ගනු ලබයි.

වත්මන් පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ ද මන්ත්‍රීවරියන් 10 දෙනෙකු පමණි.

ප්‍රතිශතයක් ලෙස කාන්තා නියෝජනය ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව තුළත්, පළාත් සභාවල හා පළාත් පාලන ආයතනවලත් 5% අඩු ප්‍රතිශතයක් ගනු ලබයි.

අන්තර් පාර්ලිමේන්තු සංගමයේ වාර්තාවකට අනුව ලොව පුරා පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය පවතින රටවල් 190 කාන්තා නියෝජනය සලකා බැලීමේ දී ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 176 වෙනි ස්ථානයයි.

ලෝකයේ පළමු අගමැතිනිය මෙන්ම විධායක බලතල හිමි ජනාධිපතිනියක් බිහි කිරීමට ශ්‍රී ලංකාවට හැකි වුවත් දේශපාලනය තුළ කාන්තා නියෝජනය පවතින්නේ අඩු මට්ටමකය.

"මේ තිබුණු ඡන්ද ක්‍රමය, ඡන්දය සඳහා විශාල මුදලක් වැය වීම, ඒ නිසා කාන්තාවන් විතරක් නෙවෙයි හොඳ අය එන්නෙත් නැහැ" යනුවෙන් නියෝජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියා සිටියේය.

ඇය ඒ බව සඳහන් කළේ කාන්තාවන් දේශපාලනයට පැමිණීම දිරිමත් කිරීමේ අරමුණින් "ඇයට බලයක් - රටට වෙනසක්" නමින් කොළඹද පැවති පා ගමනකදී බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමිනි.

එම ගැටලුවට බොහෝ රටවල් අනිවාර්ය නියෝජනයක් ලබාදීම සිදුකර ඇති බව කී නියෝජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ ඒ අනුව මෙවර පළාත් පාලන මැතිවරණයේ කාන්තාවන්ට 25% අනිවාර්ය නියෝජනයක් තහවුරුකර තිබෙන බව සඳහන් කළාය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"ඇයට බලයක් - රටට වෙනසක්"

කාන්තා නියෝජනය තහවුරු කිරීම සඳහා කොට්ඨාස මට්ටමින් තරග කරන මුළු සභික සංඛ්‍යාවෙන් 10% ක් කාන්තාවන් විය යුතු බව මෙවර නීති ගත කර තිබේ.

ඊට අමතරව සමානුපාතික නියෝජනයෙන් ඇතුළත් කළ යුතු අපේක්ෂිකාවන් සංඛ්‍යාව, එම නාම යෝජනා පත්‍රයේ සඳහන් අපේක්ෂකයින්ගෙන් 50% බව ද දක්වා තිබේ.

ඒ අනුව පළාත් පාලන ආයතන සඳහා තෝරා පත්වන 8000 වැඩි මන්ත්‍රී සංඛ්‍යාවෙන් 2000 ආසන්න සංඛ්‍යාවක්වත් කාන්තාවන් වනු ඇති බවට මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් විශ්වාසය පළ කරති.

මෙවර පාර්ලිමේන්තුවට තේරීපත්ව සිටින මන්ත්‍රීවරියන්ගේ බහුතරයක්ම දේශපාලනයට පැමිණ තිබෙන්නේ දේශපාලනය කළ සිය සැමියා, පියා, සහෝදරයාගේ අභාවයෙන් පසුවය.

ලෝකයේ ප්‍රථම අගමැතිනිය වන සිරිමාවෝ බණ්ඩාරනායක හා ප්‍රථම විධායක ජනාධිපතිනිය වන චන්ද්‍රිකා කුමාරතුංග ද දේශපාලනයට පිවිසියේ ද සිය සැමියන් ඝාතනය වීමෙන් අනතුරුවය.

මෙම තත්ත්වය ගැන විමසීමේදී නියෝජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පැවසුවේ එය කාන්තාවන්ට පමණක් පොදු කාරණයක් නොවන බවය.

"ඒක කාන්තාවන්ට පමණක් පොදු කාරණයක් නොවෙයි. සමීක්ෂණයකින් හොයාගෙන තියෙනවා පිරිමි අයත් දැන් ඉන්න අයගෙන් ඉන්නේ පවුල් දේශපාලනයත් එක්ක, ඒක ඡන්ද ක්‍රමයේ තිබුණු වරද"

අලුතින් හඳුන්වා දී තිබෙන මිශ්‍ර ක්‍රමය හේතුවෙන් ඉදිර්යේදී මෙම මතවාදය නැති වී ගම් මට්ටමේ සිට කාන්තාවන්ට ඉදිරියට පැමිණීමට හැකිවනු ඇති බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

සමාන පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්