"ආවා නායකයා ඇතුළු පහක් අත්අඩංගුවේ"

  • 2017 නොවැම්බර් 22
Image copyright Getty Images
Image caption යතුරු පැදිවලින් පැමිණ පහර දී පළා යන 'ආවා' නම් කල්ලියක් පිළිබඳව කලක පටන් තොරතුරු ලැබෙමින් ඇත

යාපනයේ ක්‍රියාත්මක බව පැවසෙන 'ආවා' නැමැති පාතාල කල්ලියේ සාමාජිකයන් යයි සැක කෙරෙන පස් දෙනෙකු පසුගිය මාස 04 තුළ දී අත්අඩංගුවට ගෙන අධිකරණ ක්‍රියාමාර්ග සඳහා යොමු කර ඇතැයි නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය පවසයි.

'ආවා' කල්ලියේ ප්‍රබල සමාජිකයින් බවට සැක කෙරෙන සිව් දෙනෙකු නොවැම්බර් 19 සහ 22 යන දෙදින තුළදී අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී ඇති බවත් අගෝස්තු 05 වෙනිදා "ආවා කල්ලියේ නායකයා" අත්අඩංගුවට ගනු ලැබූ බවත් එම අමාත්‍යංශය නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

අදාළ සැකකරුවන් සමග ත්‍රීරෝද රථයක්, යතුරුපැදි 02 ක්, ජංගම දුරකථන 02 ක්, කඩු 02 ක් සහ කිනිසි 02 ක් ද පොලිසිය බාරයට ගෙන ඇති බව ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේවන විට 'ආවා' කල්ලිය මර්දනය කිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බවත් නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය පවසයි.

Image copyright Thinkstock
Image caption 'ආවා' කල්ලිය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න තවමත් නිශ්චිතව හඳුනා ගෙන නැත

තියුණු අසිපත් වැනි ආයුධ යොදා ගනිමින් යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාන කීපයකදී සිදු කරන ලද පහරදීම් අටක් දින දෙකක් ඇතුළත වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා පොලීසිය පසුගිය 17 වෙනිදා පැවසීය.

එම පහරදීම්වලින් පුද්ගලයන් දොළොස් දෙනකු තුවාල ලබා ඇති බවත් පොලිසිය කියා සිටියේය.

උතුරු පළාතේ ක්‍රියාත්මක වෙමින් ඇතැයි වාර්තා වන 'ආවා' නමැති පාතාල කල්ලිය එකී පහරදීම් පිටුපස සිටින්නේ යයි සැක කරන බව නීතිය හා සාමය පිළිබඳ ඇමති සාගල රත්නායක කියා සිටියේය.

ඒ අනුව යාපනය පොලිස් කොට්ඨාසයේ සියලු නිලධාරීන්ගේ නිවාඩු අවලංගු කිරීමට පියවර ගත් බව ද එහිදී ඇමතිවරයා පවසා තිබිණි.

සබැඳි පුවත්:

සබැඳි විෂයයන්