කුණාටුව ශ්‍රී ලංකාවෙන් ඉවතට: "රෝහල් ගණනාවකට විදුලිය නෑ"

  • 2017 දෙසැම්බර් 1
අයහපත් කාලගුණය Image copyright News.lk

ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක ගණනාවකට බලපා තිබෙන අයහපත් කාලගුණය හේතුවෙන් අට දෙනෙකු මියගොස් ඇති අතර, තවත් අට දෙනෙක් අතුරුදහන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මේ වන විට පුද්ගලයන් 61,125 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ද මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේය.

පවුල් 961 කට අයත් 3509 දෙනෙකු ආරක්‍ෂිත ස්ථාන 30ක රඳවා සිටිති.

මේ අතර දැනට පවතින වර්ෂාපතනය අනුව නිල්වලා පහල නිම්නයේ හා කිරම ආර අවට ගංවතුර තත්ත්වය මහ ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය විය හැකි බැවින් අකුරැස්ස, අතුරලිය, මාලිම්බඩ, මාතර, තිහගොඩ හා කඹුරුපිටිය යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පහත් බිම්වල පදිංචි ජනතාවට අවධානයෙන් සිටින ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

ගිං ගඟෙහි තවලම ජල මිනුම් ස්ථානය සාමාන්‍ය මට්ටමේ පවතින නමුත් සුළු ගංවතුර මට්ටමේ පවතින බද්දේගම ජල මිනුම් ස්ථානයේ ජල මට්ටම ඉදිරි පැය 06ක කාලය තුළ තවදුරටත් ඉහළ යාමක් ද අපේක්ෂා කෙරේ.

ගිං ගඟෙහි සහ කළු ගඟෙහි ගංවතුර මට්ටම්වල තවදුරටත් ඉහළ යාමක් බලාපොරොත්තුවන බැවින් එම ගංඟා අවට පදිංචි ජනතාවට අවධානයෙන් සිටින ලෙස ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.

කෙසෙල් වගාවට හානි

මේ අතර පසුගිය දිනවල අධික වර්ෂාව සමඟ හමා ගිය දැඩි සුළං හේතුවෙන් අම්බලන්තොට රිදියගම ප්‍රදේශයේ කෙසෙල් අක්කර දෙසීයකට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බව ප්‍රදේශයේ ගොවියෝ පවසති.

රිදියගම, පුංචිහේනයාගම සහ ලියන්ගස්තොට ප්‍රදේශවල සිය වගා විනාශ වීම නිසා තමන් දැඩි ආර්ථික අපහසුතාවට පත් වන අතර ඒ හේතුවෙන් ඉදිරියේදී ප්‍රදේශයේ කෙසෙල් මිල ඉහළ යාමට ඉඩ තිබෙන බව ද ඔවුහු පවසති.

සිදුව තිබෙන හානිය පිළිබඳව අදහස් පැහැදිලි කරන රිදියගම ශක්ති ගොවි සංවිධානයේ ලේකම් වයි ආර් කෝලිත, "මේ නිසා කෙසෙල් වගාවෙන්ම ජීවත් වූ ගොවි පවුල් රාශියක් අසරණ වෙනවා. දැන් අපිට කරන්න දෙයක් නැති වෙලා ඉන්නේ," යනුවෙන් සඳහන් කළේය.

Image copyright News.lk

තමන් කෙසෙල් වගා කළ අක්කර තුනක් විනාශ වී ඇති බව කෙසෙල් ගොවියෙකු වන ඉසුරු ඉසංකා පැවසීය. "අපි ජීවත්වුණේ මෙම කෙසෙල් වගාවෙන්. ආයෙත් වගා කරලා කෙසෙල් වගාව මේ තත්ත්වයට ගේන්න අවුරුද්දකට වඩා යනවා. දැන් අපි අසරණ වෙලා ඉන්නේ. මොකද අපි මේ ගොවිතැන් කරන්නේ ණය අරගෙන ඒ ණයවත් අපිට දැන් ගෙවා ගන්න බැරි වෙනවා."

තද සුළං තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලංකාවේ මිලියන 06ක් පමණ වන සමස්ත විදුලි පාරිභෝගිකයන් ප්‍රමාණයෙන් 15%කගේ පමණ විදුලිය බිඳවැටුණු බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

29 වෙනි දින රාත්‍රියේ දස ලක්ෂ හත්සිය දෙනෙකුගේ පමණ විදුලිය බිඳවැටුණු අතර එය මේ වන විට පන්ලක්ෂ පනස් දෙදහස් හාරසිය හැත්තෑදෙදෙනෙකු දක්වා අඩුව ඇතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.

ලංකා විදුලි බල මණ්ඩලයේ ක්ෂණික දුරකථන අංක 1987, ලංකා විදුලි පෞද්ගලික සමාගමේ ක්ෂණික දුරකථන අංක 1910 සහ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ ක්ෂණික දුරකථන අංන 1901වෙත විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන් දැනුම් දෙන මෙන් අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.

එයට අමතරව කළුතර දිස්ත්‍රික්කයේ සහ රත්මලාන අවට විදුලි බිඳවැටීම් සම්බන්ධයෙන් 0114 418 418 සහ දකුණු පළාත සඳහා 0714 238 623අංකයන් ද ලබා දී තිබේ.

සබැඳි යොමු:

රෝහල්වලට 'විදුලිය නෑ'

මේ අතර ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති විශේෂ රැස්විමකදී අදහස් දැක්වූ ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්.ටී කොඩිකාර, ඉදිරි සතියක පමණ කාලයක් පැවතිය හැකි අයහපත් කාලගුණය හේතුවෙන් ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීම සඳහා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව සුදානමින් සිටින බව සඳහන් කළේය.

ඉදිරි සතිය තුළ ශ්‍රී ලංකාවට තද සුළං සමඟ තද වර්ෂාවක් ඇතිවිය හැකි බව ඇමරිකානු කාළගුණ අංශ නිකුත් කළ වාර්තාවක් උපුටා දක්වමින් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන එහිදී කියා සිටියේය.

බලපිටිය, කරන්දෙණිය සහ ඇල්පිටිය යන රෝහල්වලට තවමත් විදුලි සැපයුම යථා තත්ත්වයට පත්ව නැති බව එහිදී පෙන්වා දුන් ගාල්ල සහකාර දිස්ත්‍රික් ලේකම් චතුරංග ගුණසේකර, බෙන්තොට, ඇල්පිටිය, බලපිටිය සහ කරන්දෙණිය යන ප්‍රාදේශිය ලේකම් කාර්යාල ඇතුළු රජයේ ආයතන කිහිපයකට ද තවමත් විදුලි බලය සපයා නොතිබිම හේතුවෙන් සහන කටයුතු වලට දැඩි බාධා මතුවි ඇති බව පැවසීය.

කෙසේ වෙතත් දින තුනක සිට බෙන්තොට, බලපිටිය, කරන්දෙණිය, ඇල්පිටිය සහ වැලිවිටිය දිවිතුර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස විදුලි බලය නොමැතිවිමෙන් ජනතාව දැඩි දුෂ්කරතාවට පත්වී සිටින බවද එහිදී අනාවරණය විණි.

සිකුරාදා (දෙසැම්බර් 01) රාත්‍රියේදි වර්ෂාව පතිත වුවහොත් ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව ගාල්ල දිස්ත්‍රික් අපදා කළමණාකරන ඒකකය සඳහන් කළේය.