අහයපත් කාලගුණය: 117,746 ක් පීඩාවට පත් වෙති

  • 2017 දෙසැම්බර් 3
Image copyright Getty Images

නොවැම්බර් 29 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ දිස්ත්‍රික්ක 16 පවතින අහයපත් කාලගුණ තත්ත්වය පවුල් 33,973 බලපා ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම ආයතනය විසින් නිකුත් කරන ලද නවතම වාර්තාවකට අනුව අධික වර්ෂාව සහ සැඩ සුළං හේතුවෙන් පීඩාවට පත්ව ඇති පුද්ගලයන් සංඛ්‍යාව 117,746 කි.

අහයපත් කාලගුණය හමුවේ මරණයට පත් සංඛ්‍යාව 14 දක්වා ඉහළ ගොස් ඇත.

තවත් පුද්ගලයන් 77 දෙනෙකු තුවාල ලබා දෙදෙනෙකු අතුරුදහන් වී ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

කාලගුණය

Image copyright Getty Images

මේ අතර උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වල විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නැගෙනහිර, උතුරු සහ උතුරු මැද යන පළාත්වල ඇතැම් ස්ථානයන්හි සාමාන්‍යයෙන් තද වැසි (මි.මී 75 වැඩි) ඇදහැලෙනු ඇතැයි අපේක්ෂා කරන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ බස්නාහිර, සබරගමුව සහ ඌව යන පළාත්වලටත් අම්පාර සහ මඩකලපුව යන දිස්ත්‍රික්කවලටත් විටින්විට හමන (පැයට කි.මී 50 පමණ) තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බවය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන විට එම ප්‍රදේශවල තද සුළං ඇති විය හැකි බවත් අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

සබැඳි යොමු: