ව්‍යාජ පුවත්: සුනාමි අවදානමකදී කළ යුත්තේ කුමක්ද?

  • 2017 දෙසැම්බර් 5
Image copyright Getty Images

"ගිනි පෙල්ලෙන් බැටකෑ පුද්ගලයා කණාමැදිරි එළියටත් බයයි"

සමාජ ජාල ගිණුම් හිමියෙකු එලෙස පවසා තිබුණේ පානදුර ඇතුළු ප්‍රදේශ කිහිපයකට සුනාමි අවදානමක් ඇතැයි පළවූ ව්‍යාජ පුවතක් සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

2004 වසරේ පැමිණි සුනාමියෙන් ජීවිත තිස්දහසක් පමණ මුහුදට බිලි වූ අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයන් බියක් දැක්වීම සාමාන්‍ය තත්ත්වයකි.

සුනාමි සහ සැඩ සුළං ඇතිවීමේ අවදානමක් පවතින බව සඳහන් ව්‍යාජ පුවත් පැතිර යාමේ නැඹුරුවක් මේ දිනවල සමාජ මාධ්‍ය තුළ දැකිය හැක.

මුලතිව් ප්‍රදේශයට සුනාමි අවදානමක් ඇති බවට පසුගිය නොවැම්බර් මාසයේ පැතිර ගිය පුවතක් හේතුවෙන් එම ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථාන පවා වසා දමා තිබිණි.

එමෙන්ම ආසියාවට සුනාමි අවදානමක් ඇති බවට ඉන්දීය නක්ෂත්‍රකරුවෙකු විසින් එරට අගමැතිවරයා වෙත ලිපියකින් දන්වනු ලැබ ඇති බවට ද පුවත් පළ වී තිබිණි.

මේ අතර පසුගියදා ඇතිවූ අයහපත් කාලගුණය හමුවේ ගාල්ල ප්‍රදේශය වෙත පැයට සැතපුම් 120 සුළි සුළඟක් හමා එන බව සඳහන් පුවතක් සමාජ ජාල ඔස්සේ හුවමාරු විය.

මේ සමාජ මාධ්‍ය ජාල හරහා හුවමාරු වූ තවත් එවැනි පණිවිඩ කිහිපයකි.


Image copyright Facebook

Image copyright Facebook

ඉන් අනතුරුව මඩකලපුව වෙරළට මුහුදු ජීවීන් විශේෂයක් ගොඩ ගැසීම සුනාමි අනතුරක පෙරනිමිත්තක් ලෙස ඇතැමුන් විසින් විග්‍රහ කරනු ලැබ තිබිණි.

පානදුර ප්‍රදේශයට සුනාමි අවදානමක් ඇති බව අඟහරුවාදා (දෙසැ 05) පළවූ පුවතේ කිසිඳු සත්‍යතාවක් නොමැති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි විසින් අදාළ පුවත හඳුන්වනු ලැබුවේ එම ප්‍රදේශයේ ජනතාව නිවෙස්වලින් පිටතට ගැනීමේ උත්සාහයක් ලෙසය.

සැකසහිත තත්ත්වයක් පදනම් කර ගනිමින් ජනතාව අනිසි බියක් ඇති කර ගැනීම වෙනත් විපතකට හේතු විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

සුනාමි ඇති වීම සහ ඒ පිලිබඳ ජනතාව දැනුවත් වන්නේ කෙසේද?

Image caption සුනාමි පෙර අනතුරක් පරිගණක තිරයේ දිස්වන අයුරු

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදි:

  • සුනාමියක් ඇතිවීමට නම් මුහුදු පතුලේ භූ කම්පනයක් හටගත යුතුය
  • ජාත්‍යන්තර සුනාමි අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථාන මගින් ඒ බව ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත දැන්විය යුතුය
  • පෙර අනතුරු ඇඟවීමේ කුළුණු, මාධ්‍ය, ත්‍රිවිධ හමුදාව සහ පොලිසියේ සන්නිවේදන ජාල, ගම් මට්ටමේ සන්නිවේදන ජාල (ග්‍රාම සේවා නිලධාරීන් ඇතුළු) සහ කෙටි පණිවුඩ (SMS) මගින් ඒ බව ජනතාව වෙත දැනුම් දෙනු ඇත.

සුනාමි හෝ හදිසි ආපදා තත්ත්ව පිළිබඳ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැය 24 අවදියෙන් සිටින බව කී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඒ බව දැනුම් දෙන ඉහත කී ක්‍රමවේද පිළිබඳ විශ්වාසය තබන ලෙසය.

සුනාමි පෙර අනතුරු ඇඟවීමේ කුළුණු කොළඹ සිට මිනිත්තු 1 - 2 අතර කෙටි කාලයක් තුළ ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතින බවත් ඔහු කියා සිටියේය.

සුළි කුණාටු හෝ ගංවතුර තත්ත්ව පිළිබඳව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සහ භූ විද්‍යා සහ පතල් කැනීම් කාර්යාංශය, වාර්මාර්ග දෙපාර්තමේන්තුව හරහා ඉතා ඉක්මණින් දත්ත ලැබෙන බව ඔහු පැවසීය.

සුනාමි හෝ හදිසි ආපදා තත්ත්වයක් පිළිබඳ පුවතක් තහවුරු කර ගන්නේ කෙසේද?

Image copyright Getty Images

දුරකථන අංක (පැය 24 පුරා විවෘතයි)

  • 117
  • 0112136136
  • 0112670002

සුනාමි පෙර සූදානම

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන පරිදි ඉන්දුනීසියානු කලාපය තුළ ඇතිවන භූ කම්පනයක දී ශ්‍රී ලාංකිකයන්ට අවදානම් කලාපයෙන් ඉවත් වීම සඳහා පැය 1 1/2 හෝ 2 කාලයක් ඇත.

එම ආයතනය වැඩිදුරටත් පවසන පරිදි ඕමානයට පහළින් පිහිටි කලාපයේ එවැනි තත්ත්වයක් හටගන්නේ නම් ඉවත්වීම සඳහා ඇති කාලය පැය 4 කි.

එවැනි අවස්ථාවක සිය ප්‍රයෝජනය සඳහා "සුනාමි මල්ලක්" සුදානම් කොට තබා ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.

"සුනාමි මල්ල" තුළතබා ගත යුත්තේ මොනවාද?

  • අත්‍යවශ්‍ය ලියකියවිලි
  • ඖෂධ
  • විදුලි පන්දමක්
  • රේඩියෝ යන්ත්‍රයක්

"සුනාමියක් ඕනෑම වෙලාවක ඇතිවිය හැකියි. සුනාමියක් ඉදිරියේ ඇතිවිය හැකි කියලා සතියකට දෙකකට කලින් පෙර අනතුරු ඇඟවීමක් කරන්න බැහැ. එහෙමනම් ජපානයේ විසිදාහක් මිය යන්නේ නැහැ. නමුත් එවැනි තත්ත්වයක් ඇති වුනොත් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ගැන දැනුවත්වීම හොඳයි" ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි වැඩිදුරත් පැවසීය.

ශ්‍රී ලංකාව හා සම්බන්ධ ව්‍යාජ පුවත් ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය ඔස්සේ පළවන අවස්ථා පිළිබඳ නිතර අසන්නට ලැබේ.

මෙවැනි ව්‍යාජ පුවත් පළ කරන පුද්ගලයන්ගේ අරමුණු එකිනෙකට වෙනස් විය හැක.

ව්‍යාජ පුවතක් යනු?

Image copyright Getty Images

ව්‍යාජ පුවත් වර්ග දෙකකි

  1. සත්‍ය නොවන යමක් පිළිබඳ ජනතාව අතර විශ්වාසයක් ඇති කිරීමේ අරමුණින් හෝ වෙබ් අඩවි වෙත වැඩි අවධානයක් යොමු කරවා ගැනීම සඳහා ඇතැම් පිරිස් සිතාමතාම ව්‍යාජ පුවත් පළ කරති.
  2. ඇතැම් වාර්තාවල යම් සත්‍යයක් තිබුණ ද ඒවා සම්පූර්ණයෙන් නිවැරදි වාර්තා නොවේ. උදාහරණ: පුවතක් පළ කිරීමට ප්‍රථම මාධ්‍යවේදීන් හෝ බ්ලොග් ලේඛකයන් විසින් ඊට සම්බන්ධ කරුණු පිළිබඳ නිසි සොයා බැලීමක් සිදු නොකිරීම හෝ කරුණු උලුප්පා වාර්තා කිරීම.

ව්‍යාජ පුවතක් හඳුනා ගන්නේ කෙසේද?

ව්‍යාජ පුවතක් පළ කිරීමෙන් ගැලවී සිටීම සඳහා වැදගත්වන කරුණු කීපයකි.

  1. අදාළ පුවත වෙනත් අයකු විසින් පළ කරනු ලැබ ඇත්දැයි සොයා බැලීම
  2. අදාළ පුවත ගුවන් විදුලියේ, රූපවාහිනියේ හෝ පුවත්පතක පළකොට ඇත්දැයි සොයා බැලීම
  3. අදාළ පුවත පළ කරනු ලැබ ඇති ආයතනය හෝ ෆේස්බුක් පිටුව පිළිබඳ මීට පෙර අසා තිබේද?
  4. අදාළ පුවත පළ කරන ලද වෙබ් අඩවියේ විශ්වසනීයත්වය
  5. ඡායාරූප හෝ වීඩියෝ දර්ශනවල ස්වභාවය (ඇතැම් විට සංස්කරණය කරන ලද ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඇතුළත් ව්‍යාජ පුවත් පළ වේ)
  6. අදාළ පුවත විශ්වාස දනවන සුළු දැයි යන්න සිතාබැලීම

ඉහත කී කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි නම් එවැනි පුවතක් පළ කිරීමෙන් වැළකී ඒ පිළිබඳ තවදුරටත් සොයා බැලිය හැක.

සබැඳි යොමු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර