හම්බන්තොට වරායෙන් ලැබුණු මුදල් විශේෂ ගිණුමක තැන්පත් කරනවා - අගමැති

හම්බන්තොට වරාය චීන-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස ආරම්භ කිරීමත් සමග ඒ වෙනුවෙන් ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 300 ආසන්න මුදල ශ්‍රී ලංකා විදේශ සම්පත් සංචිතයේ විශේෂ ගිණුමක තැන්පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.

හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සෙනසුරාදා (දෙසැ 09) සිට චීන-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමේ කටයුතු නිල වශයෙන් ආරම්භ කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ චීන සමූහ ආණ්ඩුවේ හා චයිනා මර්චන්ට් පෝට් හෝල්ංඩිංග්ස් (CMPH) සමාගමේ නියෝජියින් පිරිසකගේ සහභාගීත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ අංක 01 කමිටු ශාලාවේදී සිදු කෙරුණු බව අගමැති මාධ්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

හම්බන්තොට වරාය වසර 99 බද්දට ගැනීමට අදාළ චීන සමාගම ශ්‍රී ලංකාවට ලබා දීමට නියමිත මුළු මුදල ඩොලර් බිලියන 1.1 කි.

"මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවන ලද ජාතික ආණ්ඩුවේ අරමුණක් වුණේ හම්බන්තොට පැවැති හිස් වරාය වෙනුවට ක්‍රියාකාරී වරායක් බවට එය පත් කිරීමයි. ඒ සඳහා වන මූලික පියවර අද අපි ගෙන තිබෙන බව සිහිපත් කළ යුතුයි" යනුවෙන් අගමැතිවරයා එහිදී කියා සිටි බව ඉහත කී නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

එම වැඩපිළිවෙලේ පළමු පියවර ලෙස හම්බන්තොට වරාය කේන්ද්‍ර කරගනිමින් ආර්ථික කලාප කිහිපයක් ඇති කිරීමට සැලසුම් කර තිබෙන බව කී අගමැතිවරයා ඒ හරහා කර්මාන්ත බිහිවීම මෙන්ම සංචාරක ක්ෂේත්‍රය ද දියුණු වනු ඇති බව සඳහන් කළේය.

"හම්බන්තොට වරායේ පරිපාලන කටයුතු සහ මෙහෙයුම් කටයුතු චින-ශ්‍රී ලංකා හවුල් ව්‍යාපාරයකට අප ලබා දෙනවා. ඒ සඳහා වන මුදල් මේ මොහොතේම අපට ලැබෙනවා. මේ නිසා හම්බන්තොට වරායේ ණය බර මින් පසු රටට බරක් වන්නේ නැහැ" යනුවෙන් අගමැතිවරයා වැඩිදුරටත් පැවසීය.

හම්බන්තොට වාරයේ මෙහෙයුම් කටයුතු චීන සමාගමක් සමග ඒකාබද්ධ කිරීමේ ගිවිසුම සිකුරාදා (දෙසැ 08) පාර්ලිමේන්තුවේ දී සම්මත විය.

Image copyright Getty Images
Image caption 2017 ජනවාරි මාසයේ දී හම්බන්තොට චීන ආයෝජන කලාපය ආරම්භ කිරීමේ උත්සවයට සහභාගී වූ අගමැතිවරයා සහ චීන තානාපතිවරයා

මේ අතර හම්බන්තොට වාරයේ මෙහෙයුම් කටයුතු චීන සමාගමක් සමග ඒකාබද්ධ කිරීමෙන් තම දරුවන්ගේ රැකියා අහිමි කර ඇති බවට චෝදනා කරමින් දහසකට ආසන්න පිරිසක් සෙනසුරාදා පෙරවරුවේ අම්බලන්තොට නගරයේ දී විරෝධතාවක නිරත වූහ.

අදාළ ගිවිසුම හේතුවෙන් මාගම්පුර වරාය කළමනාකරණ පුද්ගලික සමාගම යටතේ සේවය කළ 438 දෙනෙකුගේ රැකියා අහිමි වන බව පවසන විරෝධතාකරුවන් සිය දරුවන් වරාය අධිකාරියට බදවා ගන්නා ලෙස ඉල්ලා සිටිති.

ඒ පිළිබඳ කළ විමසීමකදී හම්බන්තොට වාරයේ 'මාගම්පුර වරාය කළමනාකරන ( පුද්ගලික) සමාගමේ' සභාපති නීතිඥ සුගත් හදුන්ගේ කියා සිටියේ සමාගමෙන් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වන සේවකයින් වෙත වන්දි ලබා දීමේ යෝජනාවක් කළමනාකාරිත්වය මගින් ඉදිරිපත් කර තිබෙන බවය.

අදාළ වන්දි දීමේ යෝජනාවලිය සාමාන්‍ය රජයේ වන්දි දීමේ ක්‍රමයට වඩා තුන් ගුණයට වැඩි බවත් ඔහු සඳහන් කළේය.

"මාගම්පුර කළමනාකාරණ පුද්ගලික සමාගම වරාය අධිකාරියත් එක්ක තිබෙන ගිවිසුම දෙසැම්බර නව වෙනිදායින් අවසන් වෙනවා නමුත් මේ සමාගමෙන් අස්වෙන සේවකයන්හට හම්බන්තොට වාරයේ අපේක්ෂිත සේවා සපයන්නන් මගින් එහි රැකියාවක් සදහා අයදුම් කිරීම කිසිසේත් බාධාවක් වෙන්නේ නැහැ"

එමෙන්ම මේ වනවිට කිසිඳු සේවකයෙකු මාගම්පුර වරාය කළමනාකාරණ පුද්ගලික සමාගමෙන් ඉවත් කර නොමැති බවත් ඔවුන්ට දෙසැම්බර් මාසයේ ලබාදීමට නියමිත වැටුප ද ලබාදීමට කටයුතු කරන බව ද ඔහු කියා සිටියේය .

මාගම්පුර වාරය සේවකයින් හට ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වීම සදහා ඉල්ලුම් පත්‍ර ලබා දීමට තිබු කාලය නොවැම්බර් 27 වෙනිදා අවසන් වූ බව කී මාගම්පුර වරාය සේවක සංගමයේ සභාපති අයි .කේ ඔමේෂ් ඉල්ලුම්පත්‍ර ලබාදුන් සේවකයින් ඇතොත් දෙසැම්බර් 07 වෙනි දිනට පෙර අදාළ ගෙවීම් සිදුකරන බව දන්වා තිබුන ද සේවකයන් ඉල්ලා අස්වීමේ ලිපි බාරදීම සිදු නොකල බව සඳහන් කළේය.

සබැඳි යොමු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර