උද්‍යානයක් බේරා ගත් හත් හැවිරිදි දැරිය

සිය නිවස අසල පිහිටි උද්‍යානය බේරා දෙන මෙන් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ අධිකරණය වෙත පෙත්සම ඉදිරිපත් කළ හත් හැවිරිදි දැරියක සිය ප්‍රයත්නය ජයග්‍රහණය කර තිබේ.

පළාත් පාලන බලධාරීන් විසින් දිල්ලි අගනුවර සිය නිවස අසල පිහිටි උද්‍යානයේ ප්‍රජා ශාලාවක් ඉදිකිරීමේ සැලසුම නවතා දැමීම නව්‍යා සිං (Navya Singh) නම් එම පාසල් දැරියගේ උත්සාහය වී තිබිණ.

ඒ පිළිබඳව දැරිය ඉදිරිපත් කළ පෙත්සම පිළිබඳව සිකුරාදා (දෙසැම්බර් 08) අධිකරණය හමුවේ කරුණු ඉදිරිපත් කළ බලධාරීන්, අදාළ ප්‍රජා ශාලාව වෙනත් ස්ථානයක ඉදිකිරීමට ඔවුන් තීරණය කරන ලද බව දැනුම් දුන්නේය.

තමන් ලැබූ ජයග්‍රහණය සිය මිතුරු මිතුරියන් සමග එක්ව සමරන බව නව්‍යා දැරිය බීබීසී යට කියා සිටියාය.

දිල්ලි අගනුවර රෝහිනී ප්‍රදේශයේ සිය නිවසේ සිට විනාඩි කිහිපයක් ගමන් කළ විට හමුවන උද්‍යානය තමන්ගේ "ප්‍රියතම ස්ථානය" බව පවසන පාසල් දැරිය, සෙල්ලම් කිරීම පිණිස සෑම උදෑසනකම සහ සවසකම තමන් උද්‍යානය වෙත යන බව ද පවසන්නීය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
සාරි පොට සහ පාසල් දරුවෝ: වගකීම කාගේද?

උද්‍යානයේ විශාල කොටසක් දැනටමත් අහිමි වී ඇතැයි ප්‍රදේශවාසීන් පෙන්වාදෙන බව පවසන දිල්ලි නුවර සිටින බීබීසී වාර්තාකාරිය ගීතා පාන්ඩේ, එහි ප්‍රතිඵලයක් ලෙසින් දරුවන්ට ක්‍රීඩා කිරීම සඳහා වෙන්ව තිබෙන ඉඩ කඩ දිනෙන් දිනම ඇහිරෙමින් තිබෙන බවත් සඳහන් කරයි.

පසුගිය ජුනි මාසයේ උද්‍යානයේ තුනෙන් එකකට ආසන්න කොටසක් කොටු කළ එහි පාලනය භාර දිල්ලි සංවර්ධන අධිකාරිය (Delhi Development Authority), ප්‍රජා ශාලාව ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළේය.

ඉන් අනතුරුව ජුනි 26 වෙනි දින සිට නව්‍යා දැරිය ඇතුළු සියලු ප්‍රදේශවාසීන්ට උද්‍යානයට ඇතුලුවිය නොහැකි විය.

නීතිඥයෙකු වන සිය පියා මාර්ගයෙන් පසුගිය අගෝස්තු මාසයේ එයට එරෙහිව පෙත්සමක් ගොනු කළ පාසල් දැරිය, සිය උද්‍යානය බේරා දෙන මෙන් ඉල්ලා සිටිමින් අගමැතිවරයා වෙත විවෘත ලිපියක් ද යොමු කළේය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
අධ්‍යාපන අයිතිය අහිමි බත්තලංගුණ්ඩුවේ දරුවෝ

තවත් කියවන්න: