දුම්රිය වර්ජන දිගටම: "රැකියාවලින් ඉවතට"

පසුගිය ඔක්තෝබර් මාසයේ දුම්රිය වර්ජනය අවස්ථාවේ දුම්රියක පා පුවරුවේ පවා එල්ලී ගමන් කරන මගීන් Image copyright Getty Images
Image caption පසුගිය ඔක්තෝබර් මාසයේ දුම්රිය වර්ජනය අවස්ථාවේ දුම්රියක පා පුවරුවේ පවා එල්ලී ගමන් කරන මගීන්

දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කර ඇති බැවින් සඳුදා (දෙසැම්බර් 11) දිනය තුළ රාජකාරියට වාර්තා නොකරන දුම්රිය සේවකයන් සේවය අතහැර ගියා සේ සළකා ලිපි නිකුත් කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

දුම්රිය රියදුරු සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති 12ක් වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් ආරම්භකළ මෙම වරජනයට මේ වන විට දින පහක් ගත වී තිබේ. ඉරිදා රාත්‍රියේ ද වර්ජකයන් සහ ජනාධිපති ලේකම්වරයා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වුණු අතර එය ද අසාර්ථකවී තිබේ.

දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක්‌ බවට පත්කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය සිකුරාදා මධ්‍යම රාත්‍රියේ අති විශේෂ ගැසට්‌ නියෝගයක්‌ නිකුත් කළේය. ඒ අනුව සේවයට වාර්තා කිරීම සඳහා වර්ජනයේ යෙදී සිටින දුම්රිය සේවකයන්ට සඳුදා දක්වා කාලය ලබාදී තිබුණි.

"මොවුන්ගේ ඉල්ලීම්වලට සාධාරණ විසඳුම් ලබාදීලා තියෙද්දී තමයි මේ වර්ජනය කරන්නේ. දැන් මේක අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කළාම නිවාඩු සියල්ලම අවලංගු වෙනවා. වැඩට ආවේ නැත්නම් ලිපි නිකුත් කරයි සේවය අතහැර ගියා කියල සලකල," ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ පවතින තත්වය ගැන එලෙස අදහස් දැක්වීය.

සබැඳි යොමු:

ඉරිදා රාත්‍රියේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය ඇමතූ වර්ජනයේ නිරතව සිටින වෘත්තීය සමිති සඳහන් කළේ, දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් වුවත් සිය ඉල්ලීම් ලබාදෙන තුරු සේවයට වාර්තා නොකරන බවය.

"අපිව මර්දනය කරන්න මේ රජය ගන්න ක්‍රියාමාර්ගය අපි දැඩි ලෙස හෙළා දකිනවා. මේකට බයවෙලා අපි මේ වර්ජනය නවත්වන්නේ නැහැ. අපි අපේ සාමාජිකයන්ගෙන් ඉල්ලනවා මේ කිසිදේකට බය වෙන්න එපා, දිගටම මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ ඉන්න," යනුවෙන් දුම්රිය නියාමක සංගමයේ ලේකම් පීඑම්පී පීරිස් ප්‍රකාශ කළේය.

මේ අතර ඉරිදා වර්ජකයන් සමග සාකච්ඡාවක් පැවැත්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ කාරියවසම් අඟහරුවාදා (දෙසැම්බර් 12) ආරම්භ වන අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට සිදුවන අපහසුතා ගැන සළකා වර්ජනය අත්හරින මෙන් වර්ජකයන්ගෙන් ඉල්ලීමක් කළේය.

කෙසේ වෙතත් එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළ වෘත්තීය සමිති නියෝජිතයෝ, සිය දරුවන් විභාග මධ්‍යස්ථාන කරා යොමුකිරීමට විකල්ප භාවිත කරන ලෙස දෙමව්පියන්ගෙන් ඉල්ලා සිටියහ.

මේ අතර පවතින තත්ත්වය හමුවේ දුම්රිය දෙපාර්තමේන්තුවට සිය සේවය ලබාදීමට කැමති විශ්‍රාමික ස්ථානාධිපතිවරුන්, දුම්රිය පාලකවරුන් සහ නියාමකවරුන්ට යළි සේවයට වාර්තා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ඉල්ලීමක් කර තිබේ.

වැඩ වර්ජනයේ නිරතව සිටි නිලධාරීන් පිරිසක් සඳුදා සේවයට වාර්තා කර ඇති බව ද දුම්රිය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් බීබීසී සිංහල සේවයට පැවසීය.

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර