දුම්රිය වර්ජනය: "ලක්ෂ ගණන් පඩි අරන් තවත් වර්ජනය කරනවා"

පසුගිය මැයි මාසයේ දුම්රිය වර්ජනය අවස්ථාවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ කොටු වී සිටි මගීන් Image copyright Getty Images
Image caption පසුගිය මැයි මාසයේ දුම්රිය වර්ජනය අවස්ථාවේ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ කොටු වී සිටි මගීන්

විභාග අපේක්ෂිත පාසල් සිසු දරුවන් මෙන්ම පොදු මගී ජනතාවට ඇතිවන අපහසුතා සැලකිල්ලට ගෙන සේවයට වාර්තා කරන්නැයි වර්ජනයට එක්ව සිටින දුම්රිය රියදුරන් ඇතුළු සියලු කාර්යමණ්ඩලවලින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳුදා (දෙසැම්බර් 11) රාත්‍රියේ කළ විශේෂ ඉල්ලීමට මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් හිමිව ඇති ආකාරයක් දකින්නට නැත.

වැටුප් විෂමතා ඇතුළු ඉල්ලීම් ගණනාවක් මුල් කරගනිමින් දුම්රිය රියදුරු සංගමය ඇතුළු දුම්රිය වෘත්තීය සමිති 12ක් ආරම්භ කළ වර්ජනය අඟහරුවාදා (දෙසැම්බර් 12) හය වෙනි දිනයේත් ක්‍රියාත්මක වෙමින් තිබේ.

මේ හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයට ලක්ව ඇති අතර කාර්යාල දුම්රිය රැසක් ධාවනය නොවීය. ක්‍රියාත්මක වූ දුම්රිය සේවාවන්හි දැඩි තදබදයක් දක්නට ලැබුණු අතර වර්ජනය කරන සේවකයන්ට මගීන්ගෙන් දැඩි විරෝධයක් එල්ල වී තිබුණි.

"මේවා පුද්ගලීකරණය කරන්නම ඕන ලක්ෂ ගණන් පඩි අරන් තවත් වර්ජනය කරනවා," "කියල වැඩක් නැහැ, ඔක්කොම එලවල දාලා අලුත් අය ගන්න ඕනේ," "ආණ්ඩු දැනගන්න ඕනේ මේවා කලින් සාකච්ඡා කරලා විසඳන්න," "සාමාන්‍ය පෙළ ළමයින් වෙනුවෙන් වත් මේ වර්ජනය නවත්වන්න තිබුනා, ඒකවත් කරේ නැහැ," යනාදී ලෙසින් මගී ජනතාව ආවේගශීලිව මාධ්‍ය වෙත අදහස් පළ කළහ.

මේ අතර අඟහරුවාදා රැස්වූ කැබිනට් මණ්ඩලය, වර්ජනයේ නියැලී සිටින සේවකයන්ගේ ගැටළුව විසඳිම සඳහා විශේෂ ව්‍යපෘති අමාත්‍ය සරත් අමුණුගමගේ ප්‍රධානත්වයෙන් අමාත්‍ය මණ්ඩල කමිටුවක් පත්කළ බව රජයේ ප්‍රකාශක අමාත්‍ය දයාසිරි ජයසේකර පැවසීය.

Image copyright Getty Images
Image caption පසුගිය ඔක්තෝබර් මාසයේ දුම්රිය වර්ජනය අවස්ථාවේ දුම්රියක පා පුවරුවේ එල්ලී ගමන් කරන මගීන්

අඟහරුවාදා සේවයට වාර්තා නොකරන සේවකයන් සේවය හැර ගියවුන් ලෙසින් සළකන බව දුම්රිය දෙපාර්තමේන්තුව මේ අතර නිවේදනය කළේය. දුම්රිය අත්‍යවශ්‍ය සේවයක් බවට පත්කර ඇති බැවින් සේවයට වාර්තා කිරීම අනිවාර්ය බව ද දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

අතිකාල දීමනා ද සමග දුම්රිය රියදුරෙකු මසකට රුපියල් දෙලක්ෂයකට වඩා වැටුපක් ලබන බව සඳුදා පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින් කියා සිටි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ කියා සිටියේය, එසේ තිබියදීත් ඔවුන්ගේ වැටුප් තල තවත් ඉහළ දමන්නැයි ඉල්ලමින් සිදුකරන වැඩ වර්ජනය ඉතාමත් අසාධාරණ බව ද සඳහන් කළේය.

මේ අතර දුම්රිය වර්ජනය හේතුවෙන් අපහසුතාවට පත්ව සිටින මගී ජනතාව වෙනුවෙන් ලංගම බස්‌ රථ යොදවා තිබෙන බව ලංකා ගමනාගමන මණ්‌ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන සඳහන් කළේය.

දුම්රිය වර්ජනය අවසන් වන තුරු ලංගම රියදුරන්ගේ සහ සහායකයන්ගේ නිවාඩු අවලංගු කර ඇති අතර, දුම්රිය වාර ප්‍රවේශපත්‍ර ඇති අයට සහ කලින් දුම්රිය ආසන වෙන්කරවා ගත් මගී ජනතාවට කිසිදු අමතර ගාස්‌තුවක්‌ ගෙවීමකින් තොරව අදාළ බස් රථවල ගමන් පහසුකම් ලබා දෙන බව ද සභාපතිවරයා කියා සිටියේය.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා ද විශේෂ බස් රථ යොදවා තිබෙන බවය.