විසි වසරකට පසු ඉන්දියාව සමග එක් දින තරගාවලි ජයක්?

Ravichandran Ashwin (right) has taken 300 wickets in 54 Tests - he made his debut in November 2011 Image copyright Getty Images

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවෙනි එක් දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය බදාදා (දෙසැම්බර් 13) ඉන්දියාවේ මොහාලි ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතය.

කඩුලු හතකින් පළමු තරගය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා කණ්ඩායම දෙවෙනි තරගය ද ජයගෙන තරගාවලිය ජයග්‍රහණය කළහොත් එය ශ්‍රී ලංකාව ඉන්දියාව සමග ඉන්දියාවේ දී පැවති එක් දින තරගාවලියක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාව ලෙස ක්‍රීඩා ඉතිහාසයට එක්වේ.

1997 වසරේ ඉන්දියාවේ පැවති සිව්කොන් තරගාවලියක් ජයගෙන තිබෙන නමුත් දෙරට අතර පමණක් පැවති කිසිදු ටෙස්ට් හෝ එක් දින තරගාවලියක ජයග්‍රහණය අත්කර ගැනීමට ශ්‍රී ලංකාව මෙතෙක් සමත් වී නැත.

දෙරට අතර ශ්‍රී ලංකාවේ පැවැත්වුණු එක්දින තරගාවලියක් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව අවසන් වරට සමත් වී තිබෙන්නේ ද 1997 දීය. ඒ කොළඹ දී ඉන්දීය කණ්ඩායම 3-0ක් ලෙස පරාජයට පත්කරමිනි.

ඉන්පසුව මෙතෙක් පැවති සෑම තරගාවලියක්ම පාහේ ශ්‍රී ලංකා කණ්ඩායම දරුණු ලෙස පරාජයට පත් වී තිබේ. දෙරට අතර පැවති අවසාන තරගාවලි කිහිපය ශ්‍රී ලංකාව පරාජය වූයේ 5-0, 5-0 සහ 4-1 ලෙසිනි.

Image copyright Reuters

බදාදා මොහාලි ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරගයට ශ්‍රී ලංකාව ඉදිරිපත් වන්නේ ජයග්‍රාහී මානසිකත්වයකිනි. එය ජයග්‍රහණය කළහොත් ශ්‍රී ලංකාවට මෙතෙක් පැවති එක්දින තරගවල අමිහිරි පරාජයන් අමතක කර සුභවාදී ලෙසින් 2017 වසර අවසන් කළ හැකිය.

ඉන්දීය කණ්ඩායම සඳුදා උදෑසනම මොහාලි වෙත පැමිණ සැලසුම් කරගත් පරිදි සිය පුහුණුවීම් වල යෙදී තිබුණත් ශ්‍රී ලංකාවේ සුදනමට වර්ෂාව දැඩි බලපෑම් එල්ල කළ බැවින් දරම්ෂාලාහි සිට මොහාලි වෙත ගමන් කිරීමට ද ශ්‍රී ලංකා කණ්ඩායමට නොහැකි විය.

ශ්‍රී ලංකා කණ්ඩායම පැය හතරකට ආසන්න කාලයක් ගුවන්තොටුපලේ බලා සිටියත් කණ්ඩායම වෙනුවෙන් වෙන් කර තිබූ විශේෂ ගුවන්යානය අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් ගුවන් ගත කිරීමට නොහැකිවී තිබේ. එබැවින් කණ්ඩායම මොහාලි නගරය වෙත පැමිණ තිබෙන්නේ අඟහරුවාදා උදෑසනය.

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් තරගයට යම් බලපෑමක් එල්ලවිය හැකි බවටද මේ අතර අනාවැකි පළවෙමින් තිබේ.

බදාදා තරගයේදී බොහෝදුරට ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදු නොවනු ඇති බව ශ්‍රී ලංකා කණ්ඩායාමේ ප්‍රකාශකයෙක් පැවසීය. ලහිරු තිරිමාන වෙනුවට කුසල් ජනිත් පෙරේරා නම් කිරීමේ අදහසක් මතුවී තිබුණත් බොහෝ දුරට තිරිමානට තවත් අවස්ථාවක් ලබාදීමට ඉඩ ඇති බව ද ඔහු පැවසීය.