ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතන පරීක්ෂණය සහ ශ්‍රී ලංකාවේ අලි ඇතුන්ගේ ඉරණම

දෑස් අඳ ගල්ගමුවේ දළ පූට්ටුවා තවදුරටත් ජීවතුන් අතර නොමැති වුවත් ජීවත්ව සිටි දළ පූට්ටුවාට වඩා නැසී ගිය දළ පූට්ටුවා වඩාත් ශක්තිමත් බව ඇතැම් පරිසරවේදීන්ගේ මතය වී තිබේ.

දළ පූට්ටුවාගේ මරණයත් සමග පෙර කවරදාකටත් වඩා ශ්‍රී ලාංකීය සමාජය, විශේෂයෙන් තරුණ පරපුර තුළ අලි ඇතුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් සංවාදයක් මතුව පවතී.

පසුගිය මාසයක පමණ කාලය ඇතුළත දළ පූට්ටුවා සහ තවත් ඇතුන් තිදෙනෙක් ශ්‍රී ලංකාවට අහිමි විය.

ශ්‍රී ලංකාවේ ඇත් පරපුර ආරක්ෂා කිරීම පිණිස ප්‍රමාණවත් පියවර ගැනීමට බලධාරීන් සමත් වී තිබෙන්නේ දැයි යන්න සමාජ ජාල ඔස්සේ බොහෝ දෙනෙකු මතු කරන ප්‍රශ්නයකි.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"අපේ ඇතා මරා කෑවේ ඇයි?"

වනජීවී නිලධාරීන් පවසන පරිදි දළ පූට්ටුවා ඝාතනය කළ බවට සැක පිට මේ දක්වා අත්අඩංගුවට ගනු ලැබ ඇති පිරිස අට දෙනෙකි.

එම සැකකරුවන් අඟහරුවාදා (දෙසැ 12) මහව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් දෙසැම්බර් 26 වෙනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අධිකරණය නියෝග කර තිබේ.

ඒ අදාළ සැකකරුවන්ට ඇප ලබා දීමට නීතිපති දෙපාර්තමේන්තුව විරෝධය පළ කිරීමෙන් අනතුරුවය.

කෙසේ නමුත් අදාළ සැකකරුවන් කලක සිට ඇත් දළ ජාවාරමේ නිරත වී ඇතැයි යන්න පිළිබඳ මේ වනවිට සැක පළ වෙමින් පවතී.

මේ අතර ඇත් දළ යුගල සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත පොල්පිතිගම ප්‍රදේශයේ විහාරස්ථානාධිපති හිමිනමක් අතුරුදහන්ව සිටින බවට මාධ්‍ය වාර්තා පළ වේ.

Image copyright Department of Wildlife Conservation of Sri Lanka

වනසත්ව සහ වෘක්ෂලතා ආඥා පනතට අනුව ඇතෙකු හෝ අලියෙකු ඝාතනය කළ බවට වරදකරුවකු වන පුද්ගලයෙකුට වසර පහකට නොවැඩි සිර දඬුවමක් හෝ රුපියල් ලක්ෂ පහක් දක්වා වූ දඩයකට හෝ එම දඬුවම් දෙකටම යටත් කළ හැකිය.

සමාජ ජාල ඔස්සේ අදහස් දක්වා තිබු බොහෝ දෙනෙකුගේ අදහස වී ඇත්තේ ඉහත කී දඬුවම ප්‍රමාණවත් නොමැති බවය.

ගල්ගමුවේ දළ පූට්ටුවාගේ ඝාතනය සහ ඒ පිළිබඳ පැවැත්වෙන පරීක්ෂණවල ගමන් මග

  • 2017 නොවැම්බර් 23: වලාන දූෂණ මර්දන ඒකකය විසින් හේරත්ගම ග්‍රාම නිලධාරීවරයා ඇතුළු සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් සතුව තිබී ඇත් දළ 02 සහ ගජමුතු 06 සොයා ගැනිණි.
  • 2017 නොවැම්බර් 24: ඉහත කී සැකකරුවන් දෙදෙනා නොවැම්බර් 28 වෙනි දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.
  • 2017 නොවැම්බර් 25: අත්අඩංගුවට ගත් දළ යුගල ගල්ගමුවේ දළ පූට්ටුවාගේ බවට ගල්කිරියාගම වනජීවී නිලධාරීහු සැක පහළ කළහ. ඒ අනුව දළ දළ පූට්ටුවා සොයා මෙහෙයුමක් දියත් කෙරිණි. දළ පූට්ටුවා වළ දමා ඇති බවට සැක කෙරුණු අත්අඩංගුවේ පසුවන ග්‍රාම නිලධාරීවරයාට අයත් ඉඩමක් පරික්ෂාවට ලක් කරන ලදී.
  • 2017 නොවැම්බර් 27: අදාළ ඉඩම තවදුරටත් පරීක්ෂාවට ලක් කළ නමුත් කිසිවක් සොයා ගැනීමට නොහැකි විය. ඒ අනුව වනජීවී නිලධාරීන්, පොලිසිය සහ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් එක්ව ඒ අවට වනය සෝදිසි කළහ.
  • 2017 නොවැම්බර් 28: ග්‍රාම නිලධාරීවරයා ඇතුළු සැකකරුවන් දෙදෙනා දෙසැම්බර් 12 දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. දළ යුගලය ගල්ගමුවේ දළ පූට්ටුවාට අයත් යැයි හඳුනාගත් බව වනජීවී නිලධාරීහු අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කළහ.
  • 2017 නොවැම්බර් 29: කහල්ල පල්ලකැලේ අභයභුමියට අයත් තිබ්බටුවැව ප්‍රදේශයේ තිබී වන අලියෙකුගේ මළ සිරුරක් සොයා ගැනිණි. එදිනම ගජමුතු සමග තවත් සැකකරුවන් 04 දෙනෙකු ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඔවුන් සතුව තිබී ගිනි අවියක් සහ දළ කැපීමට යොදා ගත් බවට සැක කෙරෙන කියත් පටි කිහිපයක් ද පොලිසිය බාරයට ගනු ලැබිණි.
  • 2017 නොවැම්බර් 30: ඉහත කී මළ සිරුර ගල්ගමුවේ දළ පූට්ටුවාගේ බව මරණ පරීක්ෂණයෙන් තහවුරු විය. එදිනම අදාළ විමර්ශන සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගනු ලැබිණි. ගල්ගමුවේ දළ පූට්ටුවාගේ මරණය සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරන මෙන් වැඩබලන පොලිස්පතිවරයාට නියෝග කළ බව නීතිය සහ සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක මේ අතර නිවේදනය කර තිබුණි.
  • 2017 දෙසැම්බර් 09: ගල්ගමුවේ දළ පූට්ටුවා වෙනුවෙන් පින් අනුමෝදන් කිරීමේ උත්සවයක් ප්‍රදේශවාසීහු සංවිධානය කළහ.
  • 2017 දෙසැම්බර් 12: සියලුම සැකකරුවන් දෙසැම්බර් 26 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මේ අතර අලි ඇතුන් ඝාතනය කරන පුද්ගලයන්ට එරෙහිව ලබා දෙන දඬුවම් ඉහල නැංවීම සඳහා වන යෝජනාවලියක් පරිසර සංවිධාන විසින් වනජීවී අමාත්‍යංශය වෙත ඉදිරිපත් කරනු ලැබ ඇති බව පරිසරවේදී නයනක රන්වැල්ල බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් පැවසීය.

එම යෝජනා අතර

  • රුපියල් මිලියන 10ක් දක්වා වූ වන්දියක්
  • වරදකරුවන්ගේ දේපළ රාජසන්තක කිරීම
  • වසර 25ක් දක්වා වූ සිර දඬුවමක්

රුපියල් මිලියන 10ක වන්දි මුදල සම්බන්ධයෙන් වන යෝජනාවට වනජීවී අමාත්‍යංශයේ එකඟතාව පළ වී ඇති බව කී පරිසරවේදී නයනක රන්වැල්ල ඉන් ඔබ්බට ගොස් නව නීතිය පණගැන්වීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටින බවත් සඳහන් කළේය.

එම නිර්දේශ සියල්ල තමන් අනුමත කරන බව බීබීසී සිංහල සේවය කළ විමසීමකදී සඳහන් කළ තිරසර සංවර්ධන, වනජීවි සහ බුද්ධශාසන කටයුතු භාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා, සිය අමාත්‍යාංශයේ සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් බදාදා (දෙසැම්බර් 13) විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් සඳහන් කළේය.

"උදාහරණයක් විදියට සජිත් ප්‍රේමදාස ඇමතිතුමා යෝජනා කරලා තියෙනව මිනීමැරුම් චෝදනා ගේන්න කියල," අමාත්‍ය අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා වැඩිදුරටත් පැවසීය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
"ලේ තැවරුණු ඇත් දළ ළඟ තබා ගත යුතු නැහැ"

දිනෙන් දින විනාශයට යන ශ්‍රී ලංකාවේ අලි සම්පත ආරක්ෂා කර ගනු වස් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට මෙතෙක් බලයට පත්වූ කිසිදු රජයක් සමත්වී නැත.

ශ්‍රී ලංකාව තුළ වෙසෙන අලි ඇතුන් පිළිබඳ මෑත කාලය තුළ නිසි සංගණනයක් ක්‍රියාත්මකවී නොමැති නමුත් අලි ඇතුන් පන්දහසකට අධික සංඛ්‍යාවක් මෙරට ජීවත්වන බව පරිසරවේදීන්ගේ මතය වී තිබේ.

ඒ අතර දළ ඇතුන් 70 - 100 අතර සංඛ්‍යාවක් සිටින බව විශ්වාස කෙරේ.

වළගම්බා, මහසෙන්, අනුරාධා, වලව රාජා, කල්තොට රාජා සහ තලාකොල වැව පූට්ටුවා වැනි මෑත කාලයේ සිරිලක සැරිසැරූ සුවිශේෂී දළ ඇතුන් මේ වනවිට අතුරුදහන්ව ඇති බව ඇතැම් පරිසරවේදීහු පවසති.

සමාන පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්