'එකාබද්ධයේ' සිට ශ්‍රීලනිපයේ සහායට ආ ශි‍්‍රයාණිට රාජ්‍ය අමාත්‍ය ධුරයක්

Image copyright president.gov.lk

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ සිට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙත සහාය දැක්වීම සඳහා පැමිණි පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී ශි‍්‍රයාණි විජේවික‍්‍රම පළාත් පාලන හා පළාත් සභා රාජ්‍ය අමාත්‍යවරිය ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නාය.

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන දිනේශ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණේ දිගාමඩුල්ල දිස්ති‍්‍රක්කය නියෝජනය කරන ඇය පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක් වූයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගෙන යන වැඩපිළිවෙලට සහාය දැක්වීම සිය අරමුණ බව පවසමිනි.

ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක, එම පක්ෂයේ ජාතික සංවිධායක ධුරය හෙබැවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පියසිරි විජේනායක සහ උතුරුමැද පළාත් සභා මන්ත්‍රී පී.බී කුමාර ද පසුගියදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය ලබාගත්හ.

ශ්‍රීලනිපයට එක්වීමත් සමග පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක වෙත නීතිය හා සාමය පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරය පිරිනැමීමට නියමිත බවට මාධ්‍ය වාර්තා පළ වී තිබිණ.

ශ්‍රී ලංකාවේ නීතිය හා සාමය සුරැකීමට කැපවීම විනා ඊට අදාළ අමාත්‍යාංශය භාර ගැනීමේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බව පසුගියදා බීබීසී සිංහල සේවය කළ විමසීමකදී ඔහු කියා සිටියේය.

පිල්මාරු

පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා ලබා දීම ආරම්භවීමත් සමග පක්ෂ අතර පිල්මාරුව ද ආරම්භ වී තිබේ.

කෙසේ නමුත් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම නියෝජනය කළ දේශපාලනඥයන් පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්වීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ, ඇතැම් මන්ත්‍රීවරුන් ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත්ව යන්නේ "ආසන බෙදාගැනීමට බැරිව" බවය.

ඉදිරියේ දී තවත් එවැනිම පිරිසක් ශ්‍රීලනිපයට එක්වීමට යන බවට පළ වන වාර්තා හුදෙක් කටකතා පමණක් බවත් හිටපු ජනාධිපතිවරයා පසුගියදා පැවසීය.

පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සහාය හිමි ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සභාපති ධුරය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සාකච්ඡා පැවතියත් ඒ සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණීමට දෙපාර්ශවයට නොහැකි විය.

ඒ අනුව සඳුදා (දෙසැම්බර් 11) උදෑසන ඒකාබද්ධ විපක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වශයෙනුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙසිනුත් නාමයෝජනා භාරදීම ආරම්භ කළහ.

සබැඳි යොමු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර