තේ ආනයන තහනම ගැන ජනාධිපති පූතින්ට විශේෂ ඉල්ලීමක් - ජනපති මෛත්‍රී

තේ දළු නෙලීමේ නිරත ශ්‍රී ලාංකික කාන්තාවෝ

ශ්‍රී ලංකාවෙන් තේ ආනයනය කිරීම තාවකාලිකව තහනම් කිරීමට රුසියාව ගෙන තිබෙන තීන්දුව ඉවත්කර ගන්නා ලෙස ජනාධිපති ව්ලදිමීර් පූතින්ගෙන් විශේෂ ඉල්ලීමක් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

අදාළ තහනම සම්බන්ධයෙන් රුසියානු බලධාරීන් සමග සාකච්ඡා කිරීම පිණිස නවීන් දිසානායක සහ රිෂාඩ් බදියුද්දීන් අමාත්‍යවරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ දූත පිරිසක් ඉරිදා (දෙසැම්බර් 17) රාත්‍රියේ රුසියාව බලා පිටත්ව යන බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

මිත්‍ර රාජ්‍යයක් ලෙස ශ්‍රී ලංකාවට රුසියාවේ සහයෝගය හිමිවනු ඇතැයි සඳහන් කළ ජනාධිපතිවරයා, එබැවින් මතු වී තිබෙන තත්වය පිළිබඳව අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා මෙන් තේ කර්මාන්තයේ නියුතු වූවන්ගෙන් ඉල්ලීමක් ද කළේය.

ජනාධිපතිවරයා ඒ අදහස් පළ කළේ හපුතලේ පැවති එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක රැළියක් අමතමිනි.

ශ්‍රී ලංකාවෙන් පිටත් කරන ලද තේ පෙට්ටියක කැප්රා කුරුමිණියෙකු (Khapra beetle) සොයා ගැනීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවෙන් තේ මිලදී ගැනීම සඳුදා (දෙසැම්බර් 18) සිට තාවකාලිකව අත්හිටුවන බව රුසියාව පසුගිය සතියේ නිවේදනය කළේය.

එහෙත් ඒ පිළිබඳව විශ්ලේෂණයක යෙදෙන සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසන්නේ ශරීර සෞඛ්‍යයට හානිකර ඇස්බැස්ටෝස් තහඩු ආනයනය කිරීම 2024 සිට නවතා දැමීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණයට "එකට එක කිරීමක් ලෙසින්" රුසියාව එම තීන්දුවට එළැඹි ඇතැයි යන්න දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහස වී තිබෙන බවය.

රුසියාව ශ්‍රී ලංකාවේ ප්‍රධානම තේ ගැනුම්කරුවෙකු වන අතර, ශ්‍රී ලංකාව ප්‍රධාන වශයෙන්ම ඇස්බැස්ටෝස් ආනයනය කරන්නේ රුසියාවෙනි.

එමතු නොව ශ්‍රී ලංකා නාවික හමුදාව සඳහා රුසියාවෙන් නෞකාවක් මිලදී ගැනීම පිණිස කැබිනට් අනුමැතිය පවා හිමි වී තිබියදී එය පමා කිරීම ද රුසියාවේ මේ ක්‍රියාමාර්ගයට තවත් හේතුවක් විය හැකි බවත් සන්ඩේ ටයිම්ස් පුවත්පත සඳහන් කරයි.

සබැඳි යොමු:

යෝජිත සංචාරය සහ ඇස්බැස්ටෝස් තහනම ඇතුළු කරුණු පිළිබඳව වැඩිදුර විස්තර විමසීම පිණිස වෙළෙඳ අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් ඇමතීමට බීබීසී සිංහල සේවය කිහිප වරක්ම දැරූ උත්සාහය සාර්ථක නොවීය.

ඇස්බැස්ටෝස් තහනම පිළිබඳව සාකච්ඡා කිරීම පිණිස අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් ලබන සතියේ රුසියාවේ සංචාරයක යෙදීමට නියමිත බව ද වාර්තාවේ.

මේ අතර නුවරඑළියේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක පවසා තිබුණේ අදාළ තේ කන්ටේනරයට කැප්රා කෘමියා ඇතුළු වී තිබෙන්නේ වෙනත් වරායකින්ය යන්න ආණ්ඩුවේ විශ්වාසය බවය.

"මෙය පුදුම සහගත දෙයක්. එම කැප්රා කියන කෘමියා ධාන්‍ය බෝග වලට සම්බන්ධ කෘමියෙක් ලෙසයි අපි විශ්වාස කරන්නේ. අපි හිතන විදියට තේ මණ්ඩලය හා අපේ රජයේ මතය නම් මෙම කෘමියා වෙනත් වරායකින් ඇතුල් වන්න ඇතියි කියන එකයි," අමාත්‍ය නවීන් දිසානායක සඳහන් කළේය.

කෙසේ වුවත් තේ පෙට්ටියකට කෘමියෙකු ඇතුළුවීම සම්බන්ධයෙන් අදාළ සමාගමට එරෙහිව පූර්ණ පරීක්ෂණයක් පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හපුතලේ රැලියේදී වැඩිදුරටත් සඳහන් කළේය.

තවත් යොමු: