වසරක් තුළ ඩෙංගු බවට සැක රෝගීන් දෙලක්ෂයකට ආසන්න පිරිසක් ශ්‍රී ලංකාවේ

  • 2017 දෙසැම්බර් 23
සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ උපදෙස් Image copyright Ministry of Health

මේ වසරේ ගතව ගිය මාස 12 ඇතුළත ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 180939ක් ශ්‍රී ලංකාව පුරා ප්‍රදේශවලින් වාර්තා වී තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 41.58%ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙන් බවත් වසංගත රෝග විද්‍යා ඒකකය උපුටා දක්වමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කර තිබේ.

ඒ අතරින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වී තිබෙන්නේ මේ වසරේ 29වෙනි සතිය තුළදීය.

ඩෙංගු රෝග මර්දන වැඩසටහනේ කොටසක් වශයෙන් රෝගය බෝවන ආකාර, රෝග ලක්ෂණ සහ එයින් වැළකිය හැක්කේ කෙසේද යන්න පිළිබඳ විශේෂ උපදෙස් මාලාවක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පසුගියදා ප්‍රකාශයට පත්කරනු ලැබීය.

ඒ අනුව ඩෙංගු රෝගයේ සාමාන්‍ය රෝග ලක්ෂණ වන තද උණ, හිසරදය, ඔක්කාරය සහ ඇඟපත වේදනාව සමග හුස්ම ගැනීමේ අපහසුවක්/ පපුව රිදීමක්, සෙම ගතියක්, මුත්‍රා පහවීම අඩුවීමක්, සමෙහි රතු පලු හැට ගැනීමක්, ඇස් යට වේදනාවක් සහ බඩ රිදීමක් සමග බඩ පිපුමක් දැනෙන්නේ නම් වහාම රුධිර පරීක්ෂාවක් කරගන්නා මෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී තිබිණ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ඩෙංගු: වෛද්‍ය උපදෙස්

එහෙත් පැරසිටමෝල් ඖෂධය හැර වෙනත් කිසිදු ඖෂධයක් කිසිදු අවස්ථාවක භාවිත නොකළ යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අවවාදයය.

විශේෂයෙන්ම දින දෙකකට වඩා උණ රෝගය පවතින්නේ නම් වහාම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු බව පෙන්වාදෙන සෞඛ්‍ය බලධාරීහු, ඩෙංගු උණ රෝග ලක්ෂණ තිබෙන්නේ නම් වෙහෙසකර කටයුතුවලින් වැලකී විවේක ගන්නා මෙන් සහ හැකිතරම් දියර වර්ග පානය කරන මෙන් ද රෝගීන්ගෙන් ඉල්ලා සිටිති.

එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් බව ද වසංගත රෝග ඒකකය සඳහන් කරයි.

ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් වසරක් ඇතුළත දෙලක්ෂයකට ආසන්න පිරිසක් වාර්තාවීමෙන් හෙළිවන්නේ, මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීමේ අවශ්‍යතාව බව ද සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.

ඩෙංගු වසංගත තත්වය මර්ධනය කිරීම පිණිස සහාය දීමට පසුගියදා ඕස්ටේ‍්‍රලියානු රජය ද ඉදිරිපත් විය.

පසුගිය ජුලි මාසයේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ ඕස්ටේ‍්‍රලියාවේ විදේශ ඇමතිනී ජූලී බිෂොප්, ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්ගයෙන් රුපියල් මිලියන 58 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරන බවට ප්‍රතිඥා දුන්නාය.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ඩෙංගු: "අපි එන බයට තමයි පිරිසිදු කරන්නේ"

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර