හම්බන්තොට සර්ව ආගමික සුනාමි සමරුවක්

Image caption නගරයේ වාහන ධාවනය නතර කොට නිශ්ශබ්දතාවයට එක් වෙමින්

2004 දෙසැම්බර් 26 වන දා ශ්‍රී ලංකාව මුහුණ දුන් සුනාමි උවදුරට අදට වසර දහතුනක් සම්පූර්ණ වෙයි.

මෙයින් හරියටම අවුරුදු දහතුනකට පෙර එල්ල වූ එම සුනාමි දළ රළ පහරින් අහිමි වූ දහස් සංඛ්‍යාත ජනතාව සිහිපත් කරමින් 13 වැනි ජාතික ආරක්ෂණ දින සැමරුම අද (26) දින පෙරවරුවේ හම්බන්තොට නගරයේ බස් නැවතුම් පොළ ඉදිරිපිටදී පැවැත්වුණි.

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්.එච් කරුණාරත්නගේ ප්‍රධානත්වයෙන් අද (26) සුනාමි සමරු මෙහෙය ජාතික ආරක්ෂක වේලාව අනුව පෙරවරු 9.22 ට ආරම්භ කෙරුණේ විනාඩි තුනක පමණ කාලයක් නිශ්ශබ්දතාවය පළ කිරීමෙනි.

එම මොහොතේ නගරයේ සියළුම රථ වාහන ගමනාගමනය නතර කෙරුණි.

මෙම සුනාමි සමරු මෙහෙයේ සුවිශේෂී ලක්ෂණයක් වුණේ සමාජ සංහිඳියාව සංකේතවත් කරමින් සර්ව ආගමික වතාවත් අනුව යමින් මිය ගිය අය වෙනුවෙන් පිං අනුමෝදන් කිරීමය.

හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, හම්බන්තොට වෙළඳ සංගමය සහ හම්බන්තොට මහා නගර සභාව විසින් එම සමරු වැඩසටහන සංවිධානය කර තිබුණ අතර, ඊට සමගාමීව සුනාමියෙන් විපතට පවුල් වල පාසල් දරුවන්ට පාසල් උපකරණ ලබා දීමක්ද සිදු කෙරිණ .

Image caption සර්ව ආගමික වතාවත්

සුනාමි ඛේදවාචකයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ පමණක් 16000 කට අධික පවුල් සංඛ්‍යාවක පුද්ගලයන් 66900 කට ආසන්න පිරිසක් පීඩාවට පත් විනැයි හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් ඩබ්.එච් කරුණාරත්න පවසයි.

සුනාමියට ගොදුරු වීමෙන් හම්බන්තොට දිස්ත්‍රික්වාසීන් 4200 කට අධික පිරිසක් මරණයට පත් වූ අතර,තවත් 963 කට වැඩි පිරිසක් අතුරුදහන්වූවන්ගේ ලේඛනයට ඇතුළත් කොට ඇත.

"විවිධ ආගම් අදහමින් විවිධ ජනවර්ග නියෝජනය කරමින් විවිධ බෙදීම් වලට ලක්ව ඇතත් පොදුවේ අපි සියලු දෙනාම එකම මිනිසුන් කණ්ඩායමක්. එකම අහසක් යට හුස්ම ගන්නා මිනිසුන් හැටියට සුනාමි ඛේදවාචකය අපි සියලු දෙනාටම සමාන උවදුරක් වුනා. එවැනි තත්වයක් යටතේ අපට හැකි අයුරින් යුතුකම් හා වගකීම් ඉටු කළ යුතුව තියෙනවා" දිස්ත්‍රික් ලේකම් ඩබ්.එච් කරුණාරත්න සුනාමි සමරුව අමතමින් සඳහන් කළේය.

සුනාමියට ගොදුරු වීමෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වැඩිම ජීවිත ප්‍රමාණයක් විනාශ වුණේ 2004 දෙසැම්බර් 26 වෙනිදා උදේ වරුවේ හම්බන්තොට නගරයට එල්ල වූ දළ රළ පහරිනි.

Image caption සුනාමියෙන් ජීවිත අහිමිවූවන්ට පිං පතා දරුවන්ට පොත්පත්

එමගින් දිස්ත්‍රික්කයේ නිවාස 2300 කට පූර්ණ හානි සිදු වූ අතර අර්ධ හානි සිදු වූ නිවාස සංඛ්‍යාව 1747 ක් පමණ විය .

අනතුරුව විවිධ ව්‍යාපෘති මගින් නිවාස 300 ක් පමණ ඉදි කර අනතුරට පත් ජනතාවට ලබා දුන් අතර සුනාමි ගම්මානද ඉදි කෙරුණි.

සබැඳි පුවර්ත්;