පිරිවෙන් අධ්‍යාපනයට පහසුකම් මදි - උසස් පෙළ ප්‍රථම ස්ථානය ලැබූ භික්ෂූන් වහන්සේ

භික්ෂූන් වහන්සේ Image copyright AFP

ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේගේ අධ්‍යාපනය සඳහා පිරිවෙන්වලට ලබා දෙන පහසුකම් ප්‍රමාණවත් නොවන බව උසස් පෙළ කලා විෂය ධාරාවෙන් ප්‍රථම ස්ථානය ලබාගත් භික්ෂූන් වහන්සේ පවසයි.

පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ හිමියන් පවසන ආකාරයට ශ්‍රී ලංකා ඉතිහාසයේ කලා විෂය ධාරාව සඳහා භික්ෂූන් වහන්සේ නමක් වැඩිම ලකුණු ලබාගෙන තිබෙන්නේ ප්‍රථම වතාවටය.

"මීට කලින් 1960 ගණන්වල එක හාමුදුරු නමකට දෙවෙනි ස්ථානය ලැබිල තියෙනව කියල කියනවා. නමුත් දැන් තියන මතයට අනුව මම තමයි ප්‍රථම වතාවට ප්‍රථම ස්ථානයට ඇවිල්ල තියෙන්නේ," එහිමියෝ බීබීසී සිංහල සේවයට පැවසූහ.

විශේෂයෙන්ම රත්නපුර සද්ධම්මාලංකාර පිරිවෙනේ ආචාර්ය මණ්ඩලයේ සහ ඇතැම් උපකාරක පන්තිවල ද මග පෙන්වීමෙන් මෙවැනි ජයග්‍රහණයක් ලබාගැනීමට හැකිවීම පිළිබඳව මහත් සතුටක් දැනෙන බව සඳහන් කළ උන් වහන්සේ, විශ්ව විද්‍යාලයට ඇතුළු වී ඉතිහාසය විෂය සඳහා උපාධියක් හැදෑරීමට බලාපොරොත්තු වන බව ද පැවසූහ.

Image copyright Getty Images

"අපේ ගුරුවරු හොඳයි. ඒත් අපිට ඉගෙන ගැනීමට තියෙන පහසුකම්, උදාහරණයක් විදියට තාක්ෂණය ගත්තොත් පහසුකම් මදි කියල තමයි කියන්න තියෙන්නේ පිරිවෙන්වල."

පිරිවෙන්වලට ලබන පහසුකම් පිළිබඳව "බොහෝ දුරට රජයෙන් සොයා බැලීම් කරනවා අඩුයි," බව බීබීසී සිංහල සේවය සමග කියා සිටි පත්බේරියේ මුනින්දවංශ හිමියෝ, පිරිවෙන්වලට "පාසලට තරම්" පහසුකම් නොලැබෙන බව පෙන්වා දුන්හ.

පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීම පිණිස තමා ලබාගත් ජයග්‍රහණය උපයෝගී කරගැනීම එහිමියන්ගේ අපේක්ෂාවය.

බොහෝ භික්ෂූන් වහන්සේට පිරිවෙන්වල හෝ අධ්‍යාපනය ලැබීමේ හැකියාව පවතින නමුත් එවැනි පහසුකමක් හෝ නොමැති භික්ෂුණී වහන්සේ පිළිබඳව විමසූ අවස්ථාවේ පත්බේරියේ මුනින්දවංශ හිමියන් කියා සිටියේ ශ්‍රී ලංකාවේ සියලු දෙනාටම නිදහස් අධ්‍යාපනය ලැබීමේ අයිතිය හිමි විය යුතු බවය.

තවත් යොමු:

90,000 කට සුදුසුකම් නෑ

විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද ප්‍රතිඵල ප්‍රකාර විභාගයට පෙනී සිටි අයදුම්කරුවන් 253,483 ක් අතරින් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබ තිබෙන්නේ 163,104 ක් පමණි.

ඒ අනුව ශිෂ්‍ය ශිෂ්‍යාවන් 90,379ක් විශ්ව විද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලබා නැත.

විභාග ප්‍රතිඵල ලබාගැනීම පිණිස www.doenets.lk වෙබ් අඩවියට පිවිසෙන මෙන් විභාග අපේක්ෂකයන්ට දැනුම් දෙන විභාග දෙපාර්තමේන්තුව, ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම පිණිස අයදුම් කිරීමේ අවසාන දිනය ලබන වසරේ ජනවාරි 15 වෙනි දින බව ද නිවේදනය කර තිබේ.

එක් එක් විෂය ධාරාව සඳහා දිවයිනේ ප්‍රථම, දෙවන හා තෙවන ස්ථාන ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ නම්, ඔවුන් පෙනී සිටි පාසල ද සමග පහත දැක්වේ.

ජෛවීය විද්‍යා විෂය ධාරාව

  1. දිලිනි සඳුනිකා පලිහක්කාර මාර / සුජාතා විද්‍යාලය, මාතර
  2. ගුණසිංහ ආරච්චිගේ හසිත ගීත් ගුණසිංහ හලා / ජෝශප් වාස් මධ්‍ය මහා විද්‍යාලය, වෙන්නප්පුව
  3. කොඩිතුවක්කුගේ ඉෂාන් ශාලුක රාමනායක කො / ආනන්ද විද්‍යාලය, මරදාන

භෞතික විද්‍යා විෂය ධාරාව

  1. ශ්‍රීධරන් දුවාරකන් යා / හාර්ඩ්ලි විද්‍යාලය, පේදුරුතුඩුව
  2. පතිරාජ මුදියන්සේලාගේ පමුදිත හිමාන් සෝමරත්න ගම් / ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය, ගම්පහ
  3. රේමන්ඩ් ඩේසියස් ජෙයරාජන් පෝල් ජාන්සන් යා / සාන්ත පැක්ට්‍රික් විද්‍යාලය, යාපනය

වාණිජ විෂය ධාරාව

  1. සුභසිංහ ආරච්චිලාගේ දුලානි රසන්තිකා මාර / සුජාතා විද්‍යාලය, මාතර
  2. ප්‍රන්ගිගේ කෞෂල්‍යා සුභාෂිනි දාබරේ කො/ මියුසියස් විද්‍යාලය, කොළඹ 07
  3. ෆාතිමා අකීලා ඉස්වර් කො / සාන්ත පාවුළු බාලිකා විද්‍යාලය, කොළඹ 05

කලා විෂය ධාරාව

  1. පූජ්‍ය පත්බේරියේ මුනින්දවංශ හිමි ර / සද්ධර්මාලංකාර පිරිවෙන, රත්නපුර
  2. සහෙලි ආචනා වික්‍රමනායක කො / සී.එම්.එස්.බාලිකා විද්‍යාලය, කොළඹ 07
  3. ගල්වටේ ගෙදර දිල්කි සඳුපමා ර / ෆර්ගසන් උසස් බාලිකා විද්‍යාලය, රත්නපුර

ඉංජිනේරු තාක්ෂණවේදය විෂය ධාරාව

  1. පාරමි ප්‍රසාදි රන්සිරිනි හෙට්ටිආරච්චි මාර / මහින්ද රාජපක්ෂ විද්‍යාලය, මාතර
  2. මොරකන්ද ගමගේ ප්‍රගති ඉෂාන් මධුශන්ක මාර / නාරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලය, කඹුරුපිටිය
  3. වන්නි අධිපත්තු මුදියන්සේලාගේ පසිඳු ලක්ෂාන් අධිපත්තු කුලි / මයුරපාද මධ්‍ය මහා විද්‍යාලය, නාරම්මල

ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාව

  1. මැදලගම කන්කානම්ලාගේ ලක්ෂිත චතුරංග මැදලගම ර / සීවලි මධ්‍ය මහා විද්‍යාලය, රත්නපුර
  2. වර්ණකුලසූරිය පටබැදිගේ රමේෂා ශ්‍රීමාලි හම් / දෙබරවැව මධ්‍ය මහා විද්‍යාලය, තිස්සමහාරාමය
  3. කමලේෂ්වරි සෙන්දිල්නාදන් යා / වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලය, යාපනය

පොදු / වෙනත් විෂය ධාරාව

  1. ජයමංගලගේ හිරුණි ශාක්‍යා අබේතුංග කො / දේවි බාලිකා විද්‍යාලය, කොළඹ 08
  2. ශවීන් භාෂිත තිලකරත්න කො / රාජකීය විද්‍යාලය, කොළඹ 07
  3. දියොල් බ්‍රැන්ඩන් ඇන්ටනී බයිනස් මිනු / ද මැසනඩ් විද්‍යාලය, කඳාන

සබැඳි විෂයයන්

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්