පොලිස් කාන්තාවන් අධිකරණයේ පිහිට පැතුවේ ඇයි?

Image copyright Getty Images
Image caption පොලිස් අධිකාරිනී රේණුකා ජයසුන්දර (දකුණු පසින්)

ශ්‍රී ලංකා පොලිස් සේවයේ නිරතව සිටින 85,000 කට ආසන්න පොලිස් නිලධාරීන් අතරින් 10,000 කට ආසන්න පිරිසක් කාන්තාවන්ය.

තමන් හා සමාන හෝ ඊටත් වඩා අඩු සේවා කාලයක් සහිත නිලධාරීන් උසස්වීම් ලබද්දී, කාන්තා සේවයේ ඉහළ තනතුරු සඳහා පුරප්පාඩු නොමැතිවීම හේතුවෙන් බොහෝ පොලිස් කාන්තාවෝ දුෂ්කර තත්වයකට මුහුණ දී සිටිති.

මේ ගැටලුවට විසඳුමක් සොයා සහකාර පොලිස් අධිකාරිනියන් තිදෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

නඩු විභාගය අතරවාරයේ ඔවුන් තිදෙනා ඇතුළු උසස්වීම් අහිමිව සිටි සහකාර පොලිස් අධිකාරිනියන් පිරිස උසස් කරනු ලැබිණ.

පෙත්සම ගොනු කිරීමට මූලික වූ පොලිස් අධිකාරිනී රේණුකා ජයසුන්දර, ශ්‍රී ලංකාවේ පොලිස් කානතා සේවයේ ඉතිහාසය සහ කාන්තාව මුහුණ දී සිටින ගැටලුව බීබීසී සිංහල සේවයට විස්තර කළාය.

"ප්‍රථම වතාවට"

Image copyright Getty Images

ඇය සඳහන් කරන අන්දමට 1997 දී ඇය ඇතුළු පිරිස පොලිස් සේවයට සම්බන්ධ වන විට "ප්‍රථම වතාවට" උප පොලිස් පරීක්ෂකවරුන් හා සමානවම උප පොලිස් පරීක්ෂකවරියන් සඳහා විශාල පිරිසකට අයදුම්පත් කැඳවනු ලැබ තිබිණ.

"140ස් ගාණක් අපේ බැච් එක. ඒ අවස්ථාව වන විට සුදුසුකම්වල කිසිම වෙනසක් තිබුණේ නෑ. අපි බැඳුනේ උප පොලිස් පරීක්ෂක තනතුරට," ඇය සඳහන් කළාය.

"එදා ඉඳල කිසිම අංශයකින්, පුහුණුව, වගකීම්වල කිසිම දේක වෙනසක් තිබුනෙත් නැහැ. පුහුණු වුනෙත් එකට. අපිත් හරියට සතුටු වුනා."

"මූලික පුහුණුව ගන්න අවස්ථාවේ අපිව ධෛර්යමත් කළේ පොලීසියේ ඉස්සරහට යන්න පුළුවන් කියන අදහස ඇතිව."

එබැවින් ඒ අවස්ථාවේ තමන්ට කිසිදු ස්ත්‍රී, පුරුෂ භේදයක් නොදැනුන බව ඇය සිහිපත් කරන්නීය.

එමතු නොව, විභාගයකට මුහුණ දී උප පොලිස් පරීක්ෂක තනතුරේ සිට පොලිස් පරීක්ෂක තනතුර දක්වා උසස්වීම් ලැබීමට ද ස්ත්‍රී, පුරුෂ භේදයකින් තොරව ඔවුන්ට අවස්ථාව උදා විය. ඉන් අනතුරුව එවක පැවති ආණ්ඩුවේ තීන්දුවක් ප්‍රකාර සේවයේ වසර අටක් සම්පූර්ණ කළ සියලුම උප පොලිස් පරීක්ෂකවරුන්, පොලිස් පරීක්ෂකවරුන් ලෙසින් උසස් කරන ලදි.

පොලිස් පරීක්ෂක තනතුරේ සිට සහකාර පොලිස් අධිකාරී තනතුර දක්වා උසස් කිරීමේදීත් එවැනිම සාධාරණ ක්‍රමවේදයක් අනුගමනය කරනු ලැබූ බව පොලිස් අධිකාරිනී රේණුකා ජයසුන්දර සිහිපත් කරන්නීය.

'විසි වසරකට ආසන්න කාලයක්'

Image copyright Premila Divakara
Image caption විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනී ප්‍රමිලා දිවාකර ශ්‍රී ලංකා පොලිස් සේවයේ ඉහලම ධුරය හෙබැවූ කාන්තාවයි

එහෙත් කාන්තාවන් දස දෙනෙකු පමණක් සහකාර පොලිස් අධිකාරීවරුන් ලෙසින් සේවය කළ යුතු බවට පැවති ප්‍රතිපත්තිය මත තරග විභාගයකින් අනතුරව එම තනතුරට උසස්වීමේ අවස්ථාව ලැබුනේ ඔවුන්ගෙන් තිදෙනෙකුට පමණි.

ඒ අවස්ථාවේ සහකාර පොලිස් අධිකාරිනී පදවියට පත් කෙරුණ කාන්තාවන් තිදෙනා අතර ඇය ද සිටියාය.

ඉන් අනතුරුව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයාගේ අත්සන සහිතව, සහකාර පොලිස් අධිකාරී තනතුරට බඳවා ගැනීමේ සහ එම තනතුරෙන් උසස් කිරීමේ ක්‍රමවේදය (FoR) 2015 දී ප්‍රකාශයට පත් කෙරුණි.

"ඒකෙ පොලිස් අධිකාරී ධුරයට කාන්තාවන්ට ඇබෑර්තු දෙකක් තිබුණා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ධුරයට එක ඇබෑර්තුවක් තිබුණා. නියෝජ්‍ය පොලිස්පති ධුරයට හෝ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ධුරයට කාන්තාවන්ට පුරප්පාඩුවක් වෙන්කරලා තිබුණේ නැහැ," පොලිස් අධිකාරිනී රේණුකා ජයසුන්දර බීබීසී සිංහල සේවයට කියා සිටියාය.

මේ තත්ත්වය යටතේ එවක සහකාර පොලිස් අධිකාරි ධුරය හොබවමින් සිටි කාන්තාවන්ට විසි වසරකට ආසන්න කාලයක් කිසිදු උසස්වීමකින් තොරව එකම තනතුරේ සේවය කිරීමට සිදුවීම අසාධාරණයක් බව වටහාගත් ඔවුහු ඒ සඳහා අධිකරණයේ පිහිට පැතීමට තීරණය කළහ.

"පැවරෙන රාජකාරි අපිට හැම එකක්ම පිරිමින්ට හා සමානව කරන්න හැකියාවක් තියෙන කොට, ස්ත්‍රී පුරුෂ භේදය නිසා අපි මේ වෙනස්කමට ලක්වෙලා කියන එක තේරුණ නිසා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් ගොනුකරන්න පෙළඹුනා."

වෙනත් රටවල

Image copyright Getty/ LAKRUWAN WANNIARACHCHI

ජාතික පොලිස් කොමිසමේ ද උපදෙස් ප්‍රකාර එම සහකාර පොලිස් අධිකාරිනියන් හත් දෙනාම පොලිස් අධිකාරී පදවියට උසස් කිරීමට පොලිස්පතිවරයා පියවර ගනු ලබන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ එම නඩුව විභාග වෙමින් පවතිද්දීය.

එම නඩු විභාගයේ ප්‍රතිඵලය "ඉතා සුභවාදී වනු" ඇතැයි යන්න රේණුකා ජයසුන්දර ඇතුළු සහකාර පොලිස් අධිකාරිනියන්ගේ බලාපොරොත්තුවය.

ලොව පුරා වෙනත් රටවල පොලිස් සේවා කාන්තාවන් බඳවා ගැනීම සහ ඔවුන්ට උසස්වීම ලබා දෙන්නේ කෙලෙස ද යන්න අදාළ විභාගයේ දී දැනටමත් විමර්ශනයට ලක් කරනු ලැබ තිබෙන බවත් ඇය සඳහන් කළාය.

ඇය ඇතුළු පිරිසට උසස්වීම් ලැබුන නමුත් උප පොලිස් පරීක්ෂක සහ පොලිස් පරීක්ෂක පදවි දරන කාන්තාවන් විශාල පිරිසක් තවමත් උසස්වීම් නොලබා සේවයේ නිරතව සිටිති.

එම ගැටලුවට විසඳුමක් වශයෙන් සෑම පුරප්පාඩුවකින්ම 15% ක් කාන්තාවන් වෙනුවෙන් වෙන්කිරීම පිළිබඳව ජාතික පොලිස් කොමිසමේ අවධානය යොමු වී පවතින බව ද පොලිස් අධිකාරිනී රේණුකා ජයසුන්දර වැඩිදුරටත් සඳහන් කළාය.

ජාත්‍යන්තර අත්දැකීම් ද විමසා බලා එවැනි කෝටාවක් හෝ වෙනත් ආකාරයකින් සුදුසුකම් සපිරෙන පොලිස් කාන්තාවන්ට ද සේවා උසස්වීම් ලබාගැනීමට නිසි ක්‍රමවේදයක් සකස් කිරීමේ අවශ්‍යතාව ඇය අවධාරණය කරන්නීය.

සබැඳි යොමු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්