'මිල අධිකම' අතුරුපස සහ සංගක්කාර

සංගක්කාර Image copyright Tangerinehotels.com

ලොව මිලෙන් වැඩිම බව පැවසෙන අතුරුපස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර සහ ඔහුගේ බිරිඳ වෙත පිළිගැන්වීම සම්බන්ධයෙන් සමාජ ජාල තුළ විශාල වශයෙන් අදහස් පළ වෙමින් පවතී.

නුවරඑළිය ග්‍රෑන්ඩ් සංචාරක හෝටලය විසින් පසුගිය බදාදා (ජනවාරි 03) හඳුන්වා දෙන ලද "Marry Me" ("මගේ අත ගන්න") ලෙස නම් කර ඇති අතුරුපසෙහි වටිනාකම රුපියල් ලක්ෂ තිස් අටකි.

අතුරුපසක් සඳහා එවැනි අධික මිලක් වැය කිරීම හෙලා දකිමින් සමාජ ජාල ගිණුම් හිමියන් විශාල වශයෙන් අදහස් දක්වා තිබෙන ආකාරය දැකගත හැක.

ඒ අතරින් වැඩි දෙනෙකු පවසා තිබුණේ අතුරුපසක් සඳහා එවැනි මුදලක් වැය කරනු වෙනුවට ඉන් දුගී පවුල්වල කුසගිනි නිවිය හැකි බවය.

එම මුදලින් දුගී පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය සඳහා ආධාර කළ හැකි බව තවත් සමහරෙක් පවසා තිබුණි.

ට්විටර් සමාජ ජාලයේ අදහ දක්වමින් "පැරා" පවසා තිබුණේ "මොන තරම් විශාල මුදල් නාස්තියක් ද, අතීතයේ තම පුණ්‍ය කටයුතු මගින් විශාල වැඩ කොටසක් සිදු කළ සංගක්කාර මේ වගේ දේකට සහභාගි වීම නිවැරදි යයි සිතීම විශ්වාස කරන්නත් බැහැ," යනුවෙනි.

මේ අතර ඉහත කී අදහස් විවේචනයට ලක් කරන ඇතැමෙක් පවසන්නේ ඕනෑම පුද්ගලයෙකුට සිය මුදල් තමන් කැමති ආකාරයකට විය පැහැදම් කළ හැකි බවය.

එවැනි ක්‍රියා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා ද වැදගත් බව තවත් සමහරෙකුගේ අදහසය.

ග්‍රෑන්ඩ් සංචාරක හෝටලය පවසන පරිදි මැඩගස්කරයෙන් ගෙන්වන ලද චොක්ලට්, ආහාරයට ගත හැකි රත්‍රන් සහ රිදී, විදේශීය රස ද්‍රව්‍ය "Marry Me" අතුරුපස සඳහා යොදා ගෙන ඇත.

අතුරුපස සමග පිළිගැන්වුණු නිල් මැණික හේතුවෙන් ඒ සඳහා එවැනි මිලක් තීන්දු කර ඇති බව කුමාර් සංගක්කාර ට්විටර් පණිවුඩයක සඳහන් කර තිබිණි.

කෙසේ නමුත් හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර "පැරා" නමැති පුද්ගලයාගේ ඉහත කී අදහසට ප්‍රතිචාර දක්වමින් සිය ක්‍රියාව සාධාරණීකරණය කර තිබේ.

"Marry Me" අතුරුපස පළමු වරට හඳුන්වා දීම පමණක් එහිදී සිදු වූ බව ට්විටර් පණිවුඩයක සඳහන් කරන සංගක්කාර එදින කිසිවකුත් ඒ සඳහා මුදල් වැය නොකළ බව කියා සිටී.

සිරස්තලය දෙස පමණක් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව ඇති බවත් ඒ පිළිබඳ බොහෝ දෙනෙකු තොරතුරු සොයා බලා නැති බවත් හිටපු ක්‍රිකට් නායකයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

සමාන පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර