බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ශ්‍රී ලංකාවේ

Image copyright Port City
Image caption බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු කණ්ඩායම වරාය නගර ව්‍යාපෘතියේ

ශ්‍රී ලංකාව පිළිබඳ බ්‍රිතාන්‍ය සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කණ්ඩායම මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නියැළෙමින් සිටිති.

ශ්‍රී ලංකාව පිළිබඳ බ්‍රිතාන්‍ය සර්ව පාක්ෂික පාර්ලිමේන්තු කමිටුවේ සභාපතිවරයා ලෙස ශ්‍රී ලාංකීක සම්භවයක් සහිත බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන කටයුතු කරන අතර, ඔහු ද ඇතුළුව බ්‍රිතාන්‍ය මන්ත්‍රීවරුන් තිදෙනෙක් මෙලෙස දින 5 ක ශ්‍රී ලංකා සංචාරයක යෙදී සිටිති.

බ්‍රහස්පතින්දා පස්වරුවේ (ජනවාරි 04) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හමුවූ ඔවුන්, ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය අතර පවත්නා සබඳතා ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සම්බන්ධතා ප්‍රවර්ධනය කරගැනීම පිළිබඳව සාකච්ඡා කළ බව ජනාධිපති කාර්යාලය නිවේදනය කළේය.

එයට අමතරව දූත පිරිස අගමැති රනිල් වික්‍රමසිංහද හමුවී තිබේ. ඔවුන් හා විපක්ෂනායක ආර් සම්බන්ධන් අතර සක්ච්ඡාවක් ද පාර්ලිමේන්තුවේදී සිදුවූ බව විදේශ අමාත්‍යාංශය සඳහන් කළේය.

මෙම බ්‍රිතාන්‍ය මන්ත්‍රී කණ්ඩායම ඉදිරි දින කිහිපයේදී යාපනය සහ ගාල්ල ප්‍රදේශයන්හි සංචාරය කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් තත්ත්වය මෙන්ම වෙළෙඳ හා ආයෝජන යන ක්ෂේත්‍ර කෙරෙහි මෙම කණ්ඩායමේ අවධානය යොමුව ඇතිබව විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශකයකු පැවසීය.

මෙම මන්ත්‍රී කණ්ඩයාම කොළඹ ඉදිවෙන මුල්‍ය වරාය නගර ව්‍යාපෘති භූමියේ ද සංචාරයක නියැලුණු අතර, එහි ඇති ආයෝජන අවස්ථා පිළිබඳව අදාළ චීන සමාගමේ නිලධාරීන් සමග ද සාකච්ඡා කර තිබේ.

දෙරට අතර වෙළෙඳ හා ආයෝජන සම්බන්ධතා ප්‍රවර්ධනය කර ගැනීම පිළිබඳව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නිලධාරීන් සහ වාණිජ මණ්ඩලයේ නිලධාරීන් සමග ද මෙම මන්ත්‍රී කණ්ඩයාම සාකච්ඡා කිරීමට නියමිතය.

වෙනත් පුවත්:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්