නාවික හමුදා නිලධාරීන් ගැන නීතිපතිගේ ස්ථාවරය "උභතෝකෝටික ප්‍රශ්නයක්"

කප්පම් ලබාගැනීම පිණිස කොළඹ හා තදාසන්න ප්‍රදේශවලින් දෙමළ හා මුස්ලිම් තරුණයින් එකොළොස් දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කළේ යැයි සැකපිට අත්අඩංගුවට ගෙන සිටින නාවික හමුදා නිලධාරීන් සම්බන්ධයෙන් නීතිපතිවරයා එකිනෙකට පරස්පර ප්‍රතිපතියක් අනුගමනය කිරීම "උභතෝකෝටික ප්‍රශ්නයක්" බව අධිකරණය පවසයි.

කොළඹ මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක විවෘත අධිකරණයේදී එම ප්‍රකාශය කළේ නාවික නිළධාරී සම්පත් මුණසිංහ දැනටමත් ඇප මත මුදාහැර තිබියදී හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩීකේපී දසනායක ඇතුළු නාවික හමුදා නිලධාරීන් හයදෙනා ඇප මත මුදාහැරීම පිළිබඳව නීතිපතිවරයා විරෝධය පළ කළ අවස්ථාවේදීය.

නාවික නිලධාරී සම්පත් මුණසිංහ හෙවත් "නේවි සම්පත්" හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ඉතා සමීප නිලධාරියෙකුව සිටි බව ජනමාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව රිමාන්ඩ් භාරයට පත්කර තිබූ නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක ඩීකේපී දසනායක ඇතුළු නාවික හමුදා නිලධාරීන් හය දෙනා රුපියල් ලක්ෂ 10 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 10 බැගින්වූ ශරීර ඇප 3ක් මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියෝග කළේය.

Image caption "සුදු වෑන්" පහර ගැනීම් ගැන රාජපක්ෂ පාලනයට බරපතල චෝදනා එල්ල වී තිබිණ

සෑම සෙනසුරාදාවකම රහස් පොලිසියට වාර්තා කළ යුතු බවට ඇප මත මුදාහැරීමේදී ඔවුන්ට කොන්දේසියක් ද පනවනු ලැබිණ.

'ඝාතන කුමන්ත්‍රණයක්'

සැකකරුවන් පිරිස ඉදිරිපත් කර තිබූ ඇප පෙත්සම විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී ඒ ඉල්ලීම්වලට විරෝධය පළ කරමින් කරුණු දැක්වූ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා, මෙම සැකකරුවන් ඇපමත මුදා හළ හොත් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල විය හැකි බව සඳහන් කළේය.

මෙම නඩුවට සම්බන්ධ ප්‍රධාන විමර්ශන නිලධාරියා ඝාතනය කිරීම සඳහා සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ පසුවන නාවික නිලධාරීන් දෙදෙනකු විසින් බන්ධනාගාරය තුළදී කුමන්ත්‍රණයක් සිදු කර ඇතැයි සඳහන් කළ රජයේ නීතිඥවරයා මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඒ පිළිබඳව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත් වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

එමෙන්ම මෙම සැකකරුවන්ගේ සේවය නාවික හමුදාව මගින් මෙතෙක් අත්හිටුවා නොමැති හෙයින් ඇප නියම කළ හොත් ඔවුන් අධිකරණය මග හැර පලා යාමේ අවදානමක් පවතින බවට ද ඔහු අනතුරු ඇඟවීය.

එබැවින් සැකකරුවන්ට ඇප නියම කළත් එමගින් ඉදිරි පරීක්ෂණවලට බාධා සිදුවිය හැකි බවද නීතිඥවරයා තවදුරටත් අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා ප්‍රකාශ කළේ ප්‍රධාන විමර්ශන නිලධාරියා ට තර්ජන එල්ල වී ඇති බව අධිකරණය හමුවේ තහවුරු කිරීම සඳහා එම නිලධාරියා අධිකරණය හමුවේ පෙනී නොසිටීම කනගාටුදායක තත්ත්වයක් බවය.

නඩුවේ එක් සැකකරුවෙකුට දැනටමත් ඇප ලබා දී ඇති බැවින් එම වරප්‍රසාදය සෙසු සැකකරුවන්ට ද හිමිවිය යුතු බවත් මහාධිකරණ විනිසුරුවරයා සඳහන් කළේය.

පරීක්ෂණ වලට හෝ සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමෙන් වැළකිය යුතු බවත් එසේ බලපෑම් කළ බවට අධිකරණයට කරුණු වාර්තා වුවහොත් නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් භාරයට පත් කරන බවට ද මහාධිකරණ විනිසුරුවරයා සැකකරුවන්ට තරයේ අවවාද කළේය.

කෙසේ වෙතත් සැකකරුවන්ට ඇප නියම කිරීමේදී අධිකරණය ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කරමින් නියෝගයක් නිකුත් නොකිරීම අවධානයට ලක්ව තිබෙන බව වාර්තාකරුවෝ පවසති.

වසර නවයක් නොවියැලුනු කඳුලක්

2008 වසරේ සැප්තැම්බර් මස 17 වෙනි දින හෝ ආසන්න දිනයක කොළඹ ජාත්‍යන්තර පාසලේ (CIS) ආදි ශිෂයෙකු වන රජීව් නාගනාදන් සහ ඔහුගේ මිතුරන් වන ප්‍රදීප් විශ්වනාදන්, තිලකේශ්වරන් රාමලිංගම්, ජමාල්ඩීන් ඩිලාන් සහ මොහොමඞ් සාජිත් සිව් දෙනා සහ තවත් හය දෙනෙකු පැහැර ගැනීම පිළිබඳව විත්තිකරුවෝ චෝදනා ලබා සිටිති.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
අතුරුදහන්ව සිටින තරුණයන් පස් දෙනාගේ දෙමාපියන්ගේ වේදනාව

"මේ අවුරුදු නවයට පුතාව හොයාගෙන නොගිය තැනක් නැහැ. අදටත් මගේ හිත කියනවා මගේ දරුවා කොහේ හරි ජීවත්වෙනවා කියලා."

වසර නවයකට පෙර අතුරුදහන් වූ සිය එකම පුත්‍රයා වන රජීව් නාගනාදන් තවමත් කොතැනක හෝ ජීවතුන් අතර සිටිතැයි විශ්වාස කරන බව ඔහුගේ මව මීට ඉහතදී බීබීසී සිංහල සේවය සමග හැඬු කඳුලෙන් යුතුව කියා සිටියාය.

"මේ අවුරුදු නවයට පුතාව හොයාගෙන නොගිය තැනක් නැහැ. අදටත් මගේ හිත කියනවා මගේ දරුවා කොහේ හරි ජීවත්වෙනවා කියලා."

සිය එකම පුත්‍රයා ගැන කුමන හෝ තොරතුරක් ලැබෙතැයි බලාපොරොත්තුවෙන් ගත වූ වසර නවය තුළ සිය දින චරියාවෙන් වැඩිම කාලයක් ගත වූයේ අධිකරණයේ, පොලිසියේ නොඑසේනම් කෝවිලේ පූජා පවත්වමින් බවත් ඇය කියා සිටියාය.

තවත් කියවන්න:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර

බීබීසී යෙන්