ගස් යට බුදින ගස් උඩ නිදන ශ්‍රී ලංකාවේ ගම්මානයක්

Image caption "අපට තිබුනේ පුංචි කටුමැටි ගෙදරක්. අට වතාවක්ම ඒක අලි කැඩුවා. බැරිම තැන මිඳුලේ සියඹලා ගහ උඩ මැස්සක් බැඳගත්තා"

වනඅලි උවදුර හමුවේ ගස් යට ආහාර අනුභව කර ගස් උඩ නිදාගැනීමට සිදුව ඇති බව පවසන සේරුවිල වැසියෝ වන්දි ලබා ගැනීමේදී දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව ඇති බව කියා සිටිති.

එක් පසෙකින් වන අලින්ගෙන් ද තවත් පසෙකින් වනජීවී ගැසට් පත්‍රයකින් ද බැටකන තමන්ට සහනයක් ඇත්තේම නැද්දැයි සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් අටකට අයත් එම ජනතාව ප්‍රශ්න කරති.

සේරුවිල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් සම්පුර්ණ වසම් සංඛාව දහසයකි.

1953 - 1962 කාලය තුළ එවක පැවති රජයන් විසින් තමන් ඉහත කී ප්‍රදේශ තුළ පදිංචි කරවන ලද බව සෙල්වනගර්, සුමේධංකරපුර, සේරුවිල, කාවන්තිස්සපුර, මහින්දපුර, මහවැලිගම, සේරුනුවර, සිරිමංගලපුර යන ග්‍රාම නිලධාරී වසම්වලට අයත් ජනතාව පවසති.

නමුත් 1971 වසරේ දී සිය ගම් වනජීවී කලාප තුනකට අයත් කරමින් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇති බැවින් වනඅලි හානි සම්බන්ධයෙන් වන්දි ලබා ගත නොහැකි තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ඔවුහු කියා සිටිති.

"වනසතුන්ට අයිති ඉඩම්වල පදිංචි වුනාට අපට කරන්න දෙයක් නැහැ කියලා තමයි වනජීවී නිළධාරීන් චෝදනා කරන්නේ. ඉතින් මේ අවනඩුව කියන්නේ කාටද?" යනුවෙන් ගම්වැසියෝ ප්‍රශ්ණ කරති.

"ඔව් මෙතන ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. ජනතාව පදිංචි කළාට පසුව තමයි ගැසට් පත්‍රය නිතුත්කර තිබෙන්නේ" ඒ සම්බන්ධයෙන් කළ විමසීමකදී සේරුවිල ප්‍රාදේශීය ලේකම් පී.ආර් ජයරත්න පැවසීය.

සේරුවිල ප්‍රාදේශීය ලේකම්වරයා වැඩිදුරටත් පවසන පරිදී සෙල්වනගර්, සුමේධංකරපුර, සේරුවිල, කාවන්තිස්සපුර යන වසම් සම්පූර්ණ වශයෙන් ද මහින්දපුර, මහවැලිගම, සේරුනුවර, සිරිමංගලපුර යන වසම් අර්ධ වශයෙන් ද වනජීවී කලාපවලට අයත් වේ.

ඒ අනුව ඉහත කී ගම්මාන අයත්වන වනජීවී කලාප:

  • අල්ල අභය භූමිය
  • සෝමාවතී වනරක්ෂිතය
  • ත්‍රිකෝණමඬුව

ජීවිත සහ දේපළ හානි

Image caption "පුටුවක් යට ගුලිවෙලා ඉඳගෙන මම අලියට වැඳලා කිව්වා අනේ පුල්ලියාර් දෙයියනේ මාව මරන්න එපා කියලා"

"මේ වනජීවී කලාප තුනට සම්බන්ධ කරමින් 1971 පසුව ගැසට් පත්‍ර දෙකක් නිකුත් කර තිබෙනවා. ජනතාව පදිංචි කරවීම ආරම්භ කළේ 1953 දී. සමහරුන්ට ජයභූමී ස්වර්ණ භූමි ඔප්පු පවා තිබෙනවා,"

"සේරුවිල මහ පන්සල අයත් වන්නෙත් අල්ල අභය භූමියට. ඔය සෑම වසමකම ස්ථීර නිවාස, විදුලිය, පාසල්, මංමාවත්, පන්සල්, මාර්ග පද්ධති තිබෙනවා. යටිතල පහසුකම් සඳහා තවමත් රජයෙන් මුදල් වෙන් කරනවා. මේක ගැසට් නිවේදනය පිළිබඳ ප්‍රශ්ණයක්. පාර්ලිමේන්තුවෙන් තමයි තීරණයක් ගතයුත්තේ," සේරුවිල ප්‍රාදේශීය ලේකම් පී.ආර් ජයරත්න ගැටලුවේ බරපතලකම තවදුරටත් විස්තර කළේ එසේය.

ග්‍රාම නිළධාරීන්ගේ වාර්තාවලට අනුව 2017 වසරේදී සේරුවිල ප්‍රදේශය තුළ වනඅලි පහරදීම්වලින් සිදුව ඇති ජීවිත සහ දේපළ හානි:

  • ජීවිත හානි - 06
  • දේපළ හානි - 41
  • වගා හානි - 15

"මම ජීවත් වෙන්නේ තනිවමයි. පසුගිය අප්‍රේල් මාසයේ 17 වෙනිදා සිට මේ වෙනකොට මගේ නිවස හතර වතාවක් අලි ප්‍රහාරයට ගොදුරු වුනා. අන්තිම වතාවේ මුළු ගෙදරම පොළවට සමතලා කළා" යනුවෙන් සිරිදූවේ පදිංචි කාන්තාවක වන ඩබ්ලිව් සිරියලතා පැවසුවාය.

"පුටුවක් යට ගුලිවෙලා ඉඳගෙන මම අලියට වැඳලා කිව්වා අනේ පුල්ලියාර් දෙයියනේ මාව මරන්න එපා කියලා. ඊට පස්සේ ඌ හැරිලා ගියා. අද මට ඉතිරිවෙලා තියෙන්නේ ඇඳිවත විතරයි. උයාගෙන කන්නේ ගහක් යට"

"රුදුරු සද්ධන්තයාගෙන් ගැලවුනත් ගැසට් පත්‍රයෙන් ගැලවිල්ලක් නැති බව" ඩබ්ලිව් සිරියලතා වැඩිදුරටත් කියා සිටියාය.

"අලියගේ හඬ ඇහෙනවා"

Image caption "මට තවමත් අලියා ගේ කඩන හඬ ඇහෙනවා. එදා රෑ කුස්සියේ තහඩු ගලවන හඬ ඇහුනා .එච්චරයි මතක"

"අලියා, ගේ කඩනකොට රෑ දොළහට විතර ඇති. මට සිහිය නැතිවුනා. දවස් තුනකට පස්සේ තමයි ඉස්පිරිතාලේ ඉඳල ගෙදර ආවේ" තවමත් කම්පනයෙන් පසුවන හැට තුන් හැවිරිදි පී.ජී අයිරින් හේමලතා පැවසුවේ වටපිට බලමින්ය.

"මට තවමත් අලියා ගේ කඩන හඬ ඇහෙනවා. ගෙදර ඉන්නේ මහත්තයයි මමයි විතරයි. එයාටත් ඇස් පෙනෙනවා අඩුයි. එදා රෑ කුස්සියේ තහඩු ගලවන හඬ ඇහුනා. එච්චරයි මතක. අපට අනතුරක් නොවුනට නිවසේ පැත්තක්ම ඉවරයි"

අවුරුදු එකහමාරකට පෙර අතිනතගත් සිය සැමියා සමඟ නිවසේ රැය පහන් කළේ හරියටම මාසයක් පමණක් බව දහනව හැවිරිදි කුමුදු නිශංසලා කියා සිටින්නීය.

"අපට තිබුනේ පුංචි කටුමැටි ගෙදරක්. අට වතාවක්ම ඒක අලි කැඩුවා. කටු මැටි ගෙයක් නිසා නැවත නැවත හැදුවා. බැරිම තැන මිඳුලේ සියඹලා ගහ උඩ මැස්සක් බැඳගත්තා. සමහර දවස්වල මැස්සේ නිදාගන්නවා. නැතිනම් අම්මලාගේ ගෙදර යනවා. අලි කරදරේ නැත්නම් කුලී වැඩක් කරගෙන ජීවත් වෙන්න පුළුවන්. අපට අලිවෙඩි ටිකක්වත් හරියාකාරව ලැබෙන්නේ නෑ. එක පවුලකට අවුරුද්දකටම දෙකයි දෙන්නේ," ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

සේරුවිල ප්‍රාදේශීය ලේකම්වරයා පවසන්නේ අවශ්‍ය තරම් අලිවෙඩි නොලැබෙන බවය.

ත්‍රිකුණාමල දිස්ත්‍රීක් වනජීවී සහකාර අධ්‍යක්ෂ නීතීඥ ඩබ්ලිව්.ඒ ලලිත් කුමාර පෙන්වා දෙන්නේ සෝමාවතී වනරක්ෂිය, අල්ල අභභූමිය, ත්‍රිකෝණමඬුව යන වනජීවී කලාපයන්හි සීමාමායිම් සළකුණු කර ඇත්තේ 1902 වසරේ බවය.

නිදහසෙන් පසු

Image copyright Getty Images
Image caption මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වසරකට මරණයට පත්වන අලිඇතුන්සංඛ්‍යාව 250 අධිකය

"ගැසට් පත්‍රයේ කිසි වරදක් නෑ. එය පසුකාලීනව වරින්වර යාවත්කාලීන කළා පමණයි" යනුවෙන් ඔහු සඳහන් කළේය.

"අපේ රට පාළනය කළ ඉංග්‍රීසි ජාතිකයෝ ඉතාම සැළසුම් සහගතව වැඩකළා. ලොකුම වැරද්ද නිදහස ලැබීමෙන් පසුව රට අයාලේ යාමයි. ගැසට් පත්‍රය වෙනස් කිරීම මේ ප්‍රශ්ණයට විසඳුම නොවෙයි. වන සතුන්ගේ වාසභූමි විනාශ කරන්න ඉඩ දෙන්න බැහැ. මිනිස්සුන්ගේ ඉඩම් තණ්හාවට උත්තරයක් සොයා ගැනීමයි අවශ්‍ය වන්නේ"

"අපි පසුගිය වසරේ සේරුවිලට අලිවෙඩි දෙදහකට වඩා දුන්නා. අළුත් අවුරුද්දට රතිඥ්ඥා පත්තුකරනවා වාගේ අලිවෙඩි පත්තු කළාට අපට කරන්න දෙයක් නෑ," නීතීඥ ලලිත් කුමාර අලි මිනිස් ගැටුම පිළිබඳ තවදුරටත් විස්තර කළේ එලෙසය.

නිල වාර්තාවලට අනුව අලි-මිනිස් ගැටුම හේතුවෙන් වසරකදී මරණයට පත්වන මිනිස් ජීවිත සංඛ්‍යාව 70 කි. මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් වසරකට මරණයට පත්වන අලිඇතුන්සංඛ්‍යාව 250 අධිකය.

වන අලි ප්‍රහාරයකින් මරණයට පත්වන පුද්ගලයෙකුට ආණ්ඩුව විසින් ලබා දෙනු ලබන වන්දි මුදල රුපියල් ලක්ෂ පහකි.

අලි-මිනිස් ගැටුම අවම කිරීම සඳහා ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට මෙතෙක් බලයට පත්වූ කිසිදු රජයක් සමත්වී නොමැත.

සබැඳි යොමු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර