සතියක් ගිනිගත් තෙල් නැව මුහුදුබත් වෙයි

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
ඉරාන් තෙල් නැව දින කීපයක්ම ගිනි ගනිමින් තිබුණි

සතියකටත් අධික කාලයක් ගිනි ගනිමින් තිබුණ ඉරාන් තෙල් නැව ඉරිදා (ජනවාරි 14) මුහුදේ ගිලීගිය බව චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරයි.

නැව මුහුදේ ගිලී යාමෙන් පසුවත් දියමත ගිනිදැල් දක්නට ලැබුණ අතර එමගින් ගන කළු දුමාරයක් ඉහළ නගිමින් තිබුණ බවත් එම මාධ්‍ය මගින් පැවසෙයි.

ටොන් 136,000 ක් පමණ වූ ඛනිජ තෙල් ප්‍රවාහනය කරමින් තිබුණ 'සංචි' (Sanch) නම් තෙල් නැවෙහි තිස් දෙදෙනකුගෙන් සමන්විත කාර්ය මණ්ඩලයක් වූ අතර ඔවුන්ගෙන් තිහක් ඉරාන් ජාතිකයන් වන අතර දෙදෙනක් බංග්ලාදේශ් ජාතිකයෝ වෙති.

ඉරානයේ සිට තෙල් ප්‍රවාහනය කෙරෙමින් තිබුණේ දකුණු කොරියාවටයි.

එම නැව ගිනි ගත්තේ නැගෙනහිර චීන මුහුදේ දී චීනයට අයත් හොන්කොන් හි ලියාපදිංචි 'සීඑෆ් ක්‍රිස්ටල්' (CF Crystal) භාණ්ඩ ප්‍රවාහක නෞකාවේ ගැටීමෙනි.

'සංචි' නෞකාව ග්‍රිනිච් වේලාවෙන් ඉරිදා සවස හතරට පමණ දියෙහි ගිලී නොපෙනී ගිය බව චීන රූපවාහිනිය වාර්තා කරයි.

තෙල් නැව ගිනි ගැනීමත් සමඟ බේරා ගැනීමේ මෙහෙයුමක් ආරම්භ වූ අතර ඒ සඳහා තවත් නැව් දහතුනක් පමණ යොදවා තිබුණ අතර ඉරාන් කොමාන්ඩෝ භටයන් කණ්ඩායමක් ද ඊට එක්ව සිටියහ.

බේරා ගැනීමේ මෙහෙයුමට හවුල් වූ ඉරාන් කණ්ඩායමේ ප්‍රකාශකයකු වන මොහොමඩ් රස්ටඩ් (Mohammad Rastad) අදහස් දක්වමින්, නැවේ කාර්ය මණ්ඩලයේ කිසිවකු පණ පිටින් සොයා ගත හැකි වේයැයි බලාපොරොත්තු තැබිය නොහැකි බව සඳහන් කළේය.

බේරාගැනීමේ මෙහෙයුමේ කණ්ඩායමක් නැව මුහුදේ ගිලී යාමට පෙර සෙනසුරාදා ඊට ඇතුල් වූ අතර ජීවිතාරක්ෂක බෝට්ටුවක තිබුණ මළ සිරුරු දෙකක් ඔවුන්ට හමු විය.

එම මෙහෙයුමේ දී ඊට අමතරව තවත් මළ සිරුරක් හමු වී ඇත.

මෙහෙයුමට එක්වූවන් ගිනිගත් නැවේ තොරතුරු සටහන් වෙන කළු පෙට්ටිය සොයාගත් නමුත් විෂ දුමාරය සහ අධිරස්නය හමුවේ එතැනින් පිටවීමට ඔවුන්ට සිදුව ඇත.

එම ඉරාන් නෞකාව යාත්‍රා කරමින් තිබුණේ පැනමා ධජය සහිතවයි.

එම අනතුරේ දී 'සීඑෆ් ක්‍රිස්ටල්' (CF Crystal) භාණ්ඩ ප්‍රවාහක නෞකාවේ කාර්ය මණ්ඩලයට හානියකින් තොරව බේරා ගැනීමට හැකිවිය.

නැව් දෙක ගැටුමට හේතුව තවමත් පැහැදිලි නැත.

සබැඳි පුවත්;

සබැඳි විෂයයන්