කාන්තා නියෝජනය: "පුරුෂ මූලික සමාජය තවත් ශක්තිමත් වීමක්"

Image copyright Getty Images

ලබන පෙබරවාරි මස 10 වෙනි දින ශ්‍රී ලංකාවේ පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ නව නීතියකට අනුවය. ඡන්දය ප්‍රකාශ කිරීමේ ක්‍රමවේදයේ වෙනස මෙන්ම සෑම අපේක්ෂක ලැයිස්තුවකම කාන්තාවන් 25% ක් නියෝජනය විය යුතුය යන නීතිය අනුව නව පළාත් පාලන ආයතනවලට කාන්තා මුහුණු රාශියක් ද එක්වීම එහි විශේෂත්වයකි. පළාත් පාලන මැතිවරණය සහ කාන්තා නියෝජනය පිළිබඳව බීබීසී සිංහල සේවය ගෙන එන ලිපි මාලාවක පළමුවැන්න ලෙස, තරුණ චිත්‍රපට අධ්‍යක්ෂිකා ලංකා බණ්ඩාරනායක පළ කරන අදහස් මේ.

පාර්ලිමේන්තු සහ පළාත් පාලන ආයතනවල කාන්තා නියෝජනය වැඩි කිරීම කෙතරම් ප්‍රායෝගික තලයක ක්‍රියාත්මක කළ හැකි වේද සහ එමගින් ලාංකීය සමාජයට, විශේෂයෙන් ස්ත්‍රී සමාජයට, අපේක්ෂිත ප්‍රතිඵල හිමි වේදැයි යන්න විමසිය යුතුව තිබේ.

මන්ද යත්, ශ්‍රී ලංකාව තුළ දැනට (2014 වන විට) පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.8% ක සහ පළාත් පාලන ආයතනවල 2% කටත් අඩු අගයක තිබියදී එය එක්වරම 25% ක් දක්වා වැඩි කිරීම කිසියම් අයුරකින් ස්වභාවික සමාජමය විපර්යාසයක් හෝ අවශ්‍යතාවයක් මත වන වැඩිවීමක් නොව බාහිර බලපෑමක ප්‍රතිඵලයක් ලෙස එය සිදු කිරීමට යාම නිසාය.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව, ලාංකික කාන්තා නියෝජනය පළමු වරට සිදු වූ 1947 සිට 2014 දක්වා වන අවුරුදු 67ක කාලය තුළ කාන්තා නියෝජනයේ ප්‍රතිශතය එදා සහ අද සංසන්දනය කර බැලුවහොත් එය අත්කරගෙන තිබෙන්නේ 2.8% වර්ධනයක් පමණකි.

Image copyright UNFPA/TWITTER
Image caption #ElectHer ව්‍යාපෘතිය: "ඡන්දය ඇයට. ප්‍රචණ්ඩත්වයට තිත"

සමාජයෙන් අඩක් වන කාන්තාව කෙරෙහි සමාජයේ ඇති පසුගාමී ආකල්පය මැන බැලීමට විශේෂ විශ්ලේෂණාත්මක දත්ත අවශ්‍ය යයි මම නොසිතමි. සිංහල, දෙමළ සහ මුස්ලිම් යන ප්‍රධාන ජන කොටස් තුනම අඩු වැඩි වශයෙන් කාන්තාව පුරුෂයාගේ දේපළක් ලෙස, පුරුෂයාගෙන් පාලනය විය යුතු, පුරුෂයන්ට වඩා පහළ මනුෂ්‍යන් කොටසක් ලෙස සමාජීය වශයෙන් මෙන්ම ආගමික, සහ නීතිමය රාමු තුළත් අර්ථ දක්වා තිබීම මෙන්ම, කාන්තාවන්ට කළ හැකි සහ කළ යුතු රැකියා ලෙස නම් කළ ක්ෂේත්‍ර කිහිපයක් සමාජය තුල උත්කර්ෂයට නංවා තිබීම එයට හොඳම උදාහරණ වේ.

එබැවින් එය පැහැදිලිවම කාන්තාව රටේ තීරණාත්මක දේශපාලනමය මැදිහත්වීම් වල නිරත වීම අධෛර්යය කරන්නක් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නොවේ.

එබැවින් ප්‍රතිපත්තියක් වශයෙන් කාන්තා නියෝජනය වැඩිකිරීම යහපත් ක්‍රියාදාමයක් වුව ද එමගින් අපේක්ෂිත ප්‍රතිඵල අත්කරගත හැකි වේද යන්න ගැටලුවකි.

උදාහරණයක් ලෙස, ශ්‍රී ලංකාවේ සහ ජාත්‍යන්තර දේශපාලන ප්‍රවණතා, රට තුළ කාන්තාව පෙළන ගැටළු වැනි කරුණු පිළිබඳව නාගරික උගත් කාන්තාවගේ සහ ග්‍රාමීය කාන්තාවගේ දැනුම අතර බරපතල පරතරයක් පවතී.

Image copyright Getty Images
Image caption ලෝකයේ පළමු අගමැතිනිය, සිරිමාවෝ බණ්ඩාරනායක

දේශපාලනයට අවතීර්ණ වීම සඳහා කාන්තාවට ඇති අයිතියට කිසිවකුට එරෙහි විය නොහැකි අතරම, රටේ කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට නම් දේශපාලනයට පිවිසෙන කාන්තාවට දේශපාලන දැනුමක් තිබිය යුතු බව ද බැහැර කළ නොහැකිය.

උදාහරණක් ලෙසින් වැඩිහිටියන් අතර සමලිංගික සේවනය සෞඛ්‍ය ගැටලුවක් නොව සාමාන්‍ය සංසිද්ධියක් ලෙස පිළිගනිමින් සිටියදී, ශ්‍රී ලංකාවේ නායක නායිකාවන් ඇතුළු බොහෝ දෙනා තවමත් වික්ටෝරියානු ආකල්පවල එල්බගෙන සිටීම පෙන්වා දිය හැකිය.

විශේෂයෙන්ම ග්‍රාමීය ප්‍රදේශවලට ජාත්‍යන්තර ප්‍රවණතා පිළිබඳව දැනුම කාන්දු නොවීම එයට ප්‍රධානම හේතුවකි. නාගරික කාන්තාව කෙසේ හෝ ඉංග්‍රීසි භාෂාව ද හසුරුවමින් නව දැනුම උකහා ගැනීමට වෙර දරද්දී, ග්‍රාමීය කාන්තාව බොහෝ විට "කුස්සිය මුල්ලට" කොටු කිරීම මෙයට හේතුවය.

මෙමගින් සිදුවෙන්නේ සමස්ත සමාජය තව තවත් පසුගාමී වීමකි.

මෙය කාන්තාවන් අතර පමණක් නොව පුරුෂයන්ට ද අදාළ තත්වයකි.

පොළොන්නරුව නියෝජනය කරන ගැමි නායකයෙකු වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කාන්තා අයිතිවාසිකම් සම්බන්ධයෙන් දරන අදහස් එයට හොඳම උදාහරණයක් යැයි මට සිතේ.

Image copyright lanka bandaranayake
Image caption කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම යළිත් වරක් තහනම් කළ අවස්ථාවේ කාන්තාවන් තැබෑරුම් වට කළ යුතුව තිබිණ - ලංකා බණ්ඩාරනායක

මේ සියල්ලට හේතුව ජනතාවගේ දැනුම සීමා වීමය. රටේ අධ්‍යාපනයේ අර්බුදයය.

කිසියම් ලෙසකින් දැනුමෙන් සන්නද්ධ කාන්තාවක මතුවුවත්, රටේ පවතින "පෞරුෂ වන්දනා කිරීමේ" ආකල්ප හේතුවෙන් ඇයට ද නිසි ගෞරවය පිරිනැමීමට ලාංකීය සමාජය සූදානම් නැත.

මේ අර්බුදය නොවූයේ නම් කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීම යළිත් වරක් තහනම් කළ අවස්ථාවේ කාන්තාවන් තැබෑරුම් වට කළ යුතුව තිබිණ. එවැන්නක් සිදු නොවීමෙන් හෙළිවන්නේ ශ්‍රී ලංකාවේ කාන්තාවන් සිය අයිතිවාසිකම් වෙනුවෙන් වීදි බැසීමට සූදානම් නැති බවය.

ඉතිහාසය තුළ ශ්‍රී ලංකාවේ කාන්තාව අරගලවලට එක් වී තිබෙන්නේ පන්ති අරගලයේ කොටසක් ලෙසින් විනා සිය අයිතිවාසිකම් දිනාගැනීම උදෙසා නොවේ.

Image copyright DIPTENDU DUTTA
Image caption නියෝජනය වැඩි කිරීම තරුණියන් දිරිමත් කරන්නක් දැයි ඉන්දියාවේ සමීක්ෂණයක්

එම සටන්වලදී පවා, විශේෂයෙන්ම වාමාංශික අරගලය තුළ දී හෝ, කාන්තාවක නායිකාවක ලෙසින් මතු වනු අපි නොදුටුවෙමු.

එමෙන්ම පසුගිය පාලන සමයන්හි පාර්ලිමේන්තු සහ පළාත් පාලන ආයතන වල ආසන හිමි වූ ස්ත්‍රීන් කවුරුන්දැයි සලකා බැලූ විට ඉහත කාන්තා නියෝජනය තුළ පවා ලාංකික කාන්තා සමාජය ගොඩනැගිමට ඔවුන්ගෙන් සිදුවන සේවය ප්‍රශ්ණකාරීය.

අඩුතරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ කියවා නැති ස්ත්‍රීන් පාර්ලිමේන්තුවේ අසුන්ගෙන සිටින්නේ අධ්‍යාපනික වශයෙන්, දේශපාලනික වශයෙන්, දැනුමින් මෙන්ම අත්දැකීම් වලින්ද පොහොසත් නායකත්ව පෞරුෂයන් වලින් හෙබි කාන්තාවන් බොහෝ ප්‍රමාණයක් සමාජයේ සිටියදී වීම ඉතාම කණගාටුදායක තත්වයකි.

සමස්ථ සමාජයෙන් 50%ක් ස්ත්‍රීන් සිටින රටක පාර්ලිමේන්තුව, පළාත් පාලන ආයතන සහ අනෙකුත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතන වල ද ස්ත්‍රී නියෝජනය වැඩි විය යුතු බව සහ වැඩි කළ යුතු බව ඉතා පැහැදිලිය. එසේම එම වැඩිවීම කළ යුතුව තිබූයේ මීට බොහෝ කාලයකට පෙර බවද පැහැදිලිය.

Image copyright UPEKSHA SWARNAMALI
Image caption ජාතික ලැයිස්තුවෙන් සියයට තිහක ප්‍රමාණයක් වෙන් කළ යුතු බව උපේක්ෂා ස්වර්ණමාලිගේ මතය වී තිබේ

පමා වී හෝ එතැනට ලංකීය රාජ්‍ය බලහත්කාරයෙන් හෝ තල්ලු කර ගැනීමෙන් පසු එහි ප්‍රතිඵල ස්ත්‍රී සමාජයට භුක්ති විදිය හැකි වන්නේ පැහැදිලි දේශපාලන අවබෝධයක්, අධ්‍යාපනයක්, දැක්මක් මෙන්ම නායකත්ව පෞරුෂයන්ගෙන් හෙබි සැබෑ ලෙසම ස්ත්‍රී අන්‍යතාවයක් සහිත ස්ත්‍රීන්ගෙන් එම 25% පුරවා ගැනීමට අප සමත් වුවහොත් පමණක් බව මගේ හැඟීමය.

එසේ නොවන්නේ නම් පළාත් පාලනයේ කාන්තා නියෝජනය වැඩි කිරීම "ලොකු මැජික් එකක්" වනු ඇතැයි මම නොසිතමි. එහි අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ පුරුෂ මූලික සමාජය තවත් ශක්තිමත් වීමක් පමණක් යයි මට සිතේ.

(මෙහි දැක්වෙන්නේ චිත්‍රපට අධ්‍යක්ෂිකා ලංකා බණ්ඩාරනායකගේ පුද්ගලික මතයය)

තවත් යොමු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර