ලසන්ත ඝාතනය: "කාර්යාලය අසල බුද්ධි අංශ ගැවසිලා"

lasantha

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනයට ලක්වීමට පෙර දින ඔහුගේ කාර්යාලය අසල යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් ගැවසුනු බවට පරීක්ෂණවලදී අනාවරණය වී ඇතැයි රහස් පොලිසිය බ්‍රහස්පතින්දා (ජනවාරි 18) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

රහස් පොලිසිය ඒ බව දන්වා සිටියේ ලසන්ත වික්‍රමතුංග ඝාතන පරීක්ෂණ පැමිණිල්ල ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

ඝාතනය සිදුවීමට පෙර දින මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංගගේ කාර්යාලය අසල මරදාන ට්‍රිපෝලි හමුදා කඳවුරේ බුද්ධි අංශ නිලධාරීන් ගැවසී ඇති බවට පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇති බව රහස් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

ඒ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන බව ද රහස් පොලිසිය අධිකරණය වෙත දන්වන ලදී.

පරීක්ෂණයට අදාළව මේ වනවිට නවසිය පනස් දෙනකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් ඉන් දෙසිය අනූ පස් දෙනකු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් බවත් රහස් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

ලසන්ත වික්‍රමතුංගගේ පළමු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව සම්බන්ධයෙන් ද පරීක්ෂණ පවත්වන බව සඳහන් කළ රහස් පොලිසිය ඒ සම්බන්ධයෙන් කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා සහ එම පරීක්ෂණය සිදු කිරීමට දායක වූ වෛද්‍යවරුන්ගෙන් ප්‍රකාශ ලබාගෙන ඇති බව සඳහන් කළේය.

වීඩියෝ ශීර්ෂ වැකිය,

"දේශපාලනයට සම්බන්ධ නැති අපරාධකරුවන් මිනීමැරුමක් කළොත් ඉක්මනින් විභාග කරනවා"

පළමුවන පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීමේදී වෛද්‍යවරුන්ට කිසියම් බලපෑමක් එල්ල වී තිබුණේ ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන බව පොලිසිය පැවසීය.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා පැමිණිල්ල මාර්තු 15 වෙනි දින නැවත කැඳවීමට නියම කළ අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් ද රහස් පොලීසියට නියෝග කළේය.

මේ අතර දේශපාලනය සමඟ සම්බන්ධතා නැති අපරාධකරුවන් විසින් මිනීමැරුමක් කළ විට එය ඉතා ඉක්මනින් විභාග කොට වසර කිහිපයක් ඇතුළත දඬුවම් පමුණුවන නමුත් ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් දීමට අපොහොසත් වීම හේතුවෙන් ඊට වගකිව යුතු ප්‍රධාන සැකකරු හෝ සැකකරුවන්ට අනාගතයේදී රටේ ජනාධිපති හෝ අගමැති පදවියට වුවද තේරී පත් වීමට දොරටු විවෘත විය හැකි යයි ලසන්තගේ සොහොයුරු ලාල් වික්‍රමතුංග වෙනුවෙන් ප්‍රකාශයක් ඉදිරිපත් කළ පවුලේ සාමාජිකාවක් පසුගියදා කියා සිටියාය.

ඇය එම ප්‍රකාශය කළේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට අදාළ පරීක්ෂණවල මන්දගාමීභාවය සම්බන්ධයෙන් කනගාටුව පළ කරමිනි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සිදු කොට ජනවාරි 08 වෙනි දිනට වසර නවයක් සම්පූර්ණ විය.