කාන්තාව, මත්පැන්, මුස්ලිම් ළමා විවාහ සහ බැඳුම්කර ගැන ජවිපෙ: "මහ මොළ කරු රනිල්"

මත්පැන් Image copyright Thinkstock

කාන්තාවන් මත්පැන් පානය කිරීම හෝ විකිණීම තහනම් කරමින් 1955 දී පණවන ලද නීතියක් අවලංගු කරන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර පසුගියදා නිවේදනය කිරීම රට පුරා මහත් විවාදයකට තුඩු දුන්නේය.

විශේෂයෙන්ම ඇතැම් බෞද්ධ භික්ෂූන් වහන්සේ සහ ඒකාබද්ධ විපක්ෂය එයට දැඩි විරෝධය පළ කර තිබුණි.

ඉන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ජ්‍යෙෂ්ඨ කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් ද එම තීරණයට ප්‍රබල විරෝධය පළ කිරීම හේතුවෙන් අදාළ ගැසට් නිවේදනය අවලංගු කරමින් පැරණි තහනම යළිත් වරක් ක්‍රියාත්මක කිරීමට මුදල් අමාත්‍යවරයා පියවර ගෙන තිබේ.

මේ අතර කැබිනට් මණ්ඩලයේ සංශෝධිත තීරණයට විරෝධය පළකරමින් කාන්තාවන් පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

ඔවුන් එම පෙත්සම ඉදිරිපත් කරනු ලැබ තිබෙන්නේ "සෑම පුද්ගලයෙකුම නීතිය ඉදිරියේ සමාන වන අතර නීතියෙන් සමාන ආරක්ෂාවක් ලැබීමට හිමිකම් දරයි," යනුවෙන් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වෙනි වගන්තිය මත පදනම් වෙමිනි.

ජනතා විමුක්ති පෙරමුණ ඒ සම්බන්ධයෙන් දරන්නේ කවර මතයක් ද?

ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ පවත්නා සංස්කෘතිය සහ "වැඩවසම් සමාජ ක්‍රමය තුළ" මත්පැන් පානය කිරීම හෝ විකිණීම සඳහා කාන්තාවන්ට අවසර දීම පක්ෂය අනුමත නොකරන බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ප්‍රකාර කාන්තාවන්ට සහ පුරුෂයන්ට ලිංගිකත්වය මත පදනම් වී වෙනස් නීති පැණවීම අනුමත නොකරන නමුත් කිසියම් ප්‍රතිපත්තිමය කරුණක් ගැන තීරණ ගන්නා විට රටේ සංස්කෘතිය මත පදනම් වී පියවර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව ද ඔහු පැවසීය.

"ලංකාවේ සංස්කෘතිය, ආගමික වටපිටාව, ආසියාතික වැඩවසම් සමාජ ක්‍රමය තුළ යුරෝපයේ තියෙන දේවල් ඒ විදියටම කරන්න යාම සමාජය තුළ ගැටලු, අර්බුද මතුවෙන එකක්," ඔහු පැවසීය.

සමාජ සාධාරණත්වය සහ මාක්ස්වාදය විශ්වාස කරන පක්ෂයක් වැඩවසම් සමාජ ක්‍රමයට අනුබල දෙන්නේ කෙසේ දැයි විමසූ අවස්ථාවේ මන්ත්‍රීවරයා කියා සිටියේ, පවතින වැඩවසම් ක්‍රමය "ක්‍රමානුකූලව පියවරෙන් පියවරට වෙනස් වෙමින්" පවතින බැවින් "චීනයේ සංස්කෘතික විප්ලවය සිදු කළ ආකාරයට," කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවය.

රටේ බරපතල ගැටලුවක් පමණක් නොව කිසිදු කරුණක් සම්බන්ධයෙන් වත්මන් ආණ්ඩුවේ ඒකමතිකභාවයක් නොපැවතීම මේ විවාදයේදී තවදුරටත් හෙළිදරවු වූ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ කාන්තා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම ආණ්ඩුවේ සැබෑ අභිලාශය නම් උදාහරණයක් ලෙස "මුස්ලිම් කාන්තා අයිතීන් උල්ලංඝනය කරන, ඉතාම යල් පැන ගිය" මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කළ යුතුව තිබුණු බව පවසන මන්ත්‍රීවරයා, එසේ නොමැතිව මෙවැනි පියවර ගැනීම මගින් සිදුවෙන්නේ "අනවශ්‍ය අර්බුදයක් නිර්මාණය කිරීමක්" බව ද සඳහන් කළේය.

එසේ නම් මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කිරීම පිණිස හඬ නොනැගුවේ මන්දැයි බීබීසී සිංහල සේවය විමසූ අවස්ථාවේ මන්ත්‍රීවරයා කියා සිටියේ ඒ සම්බන්ධයෙන් සිය පක්ෂය කලක් මුළුල්ලේම හඬ නගමින් සිටින බවය.

විවාහවීමේ අවම වයසක් නියම කරමින් මුස්ලිම් පුද්ගල නීතිය සහ උඩරට නීතිය සංශෝධනය කිරීම පිණිස ගන්නා ලද පියවර පැහැදිලි කරන මෙන් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ කමිටුව ශ්‍රී ලංකා ආණ්ඩුවට දැනුම් දී තිබුණි.

මුස්ලිම් විවාහ නීතිය යටතේ බාල වියේදී බලහත්කාරයෙන් විවාහ කරන ලද දැරියකගේ අනුවේදනීය කතා පුවත ඇතුළත් විශේෂ ගවේෂණ වාර්තාවක් බීබීසී සිංහල සේවය පසුගිය වර්ෂයේ ප්‍රකාශයට පත් කළේය.

බැඳුම්කර වාර්තාව: 'රනිල් චුදිතයෙක්'

බැඳුම්කර නිකුතුව සම්බන්ධ ජනාධිපති පරීක්ෂණ වාර්තාව පිළිබඳව බීබීසී සිංහල සේවය සමග අදහස් දක්වමින් විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියේ, එම වාර්තාව මත පදනම්ව ආණ්ඩුව අධිකරණ ක්‍රියාමාර්ගයකට යොමු වනු ඇතැයි සිය පක්ෂය විශ්වාස නොකරන බවය.

Image copyright Getty Images
Image caption "තිලක් මාරපන මහත්මයා, රනිල් වික්‍රමසිංහ මහත්මයට දඬුවම් දෙයිද?" - ජවිපෙ

"ඇත්තටම කෝප් කමිටු වාර්තාවෙන් මීට මාස 16කට කලින් ඔය නිර්දේශම ඉදිරිපත් වුනා. ඒවා ක්‍රියාත්මක කළා නම් මේ වෙන කොට අධිකරණ කටයුතුවලින් තුනෙන් එකක් අවසන් වෙලා," ඔහු පැවසීය.

බැඳුම්කර ගනුදෙණුව සම්බන්ධයෙන් අගමැති රනිල් වික්‍රමසිංහ වගකිව යුතු නැති බවට ජනාධිපති කොමිසම කරන නිර්දේශය තමන් පිළිනොගන්නා බව ද ඔහු සඳහන් කළේය.

"මුළු රටම දන්නවා මේකේ මහ මොළ කරු කවුද කියල. රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ නම නෑ. නැති එකම තමයි ප්‍රශ්නේ," ඔහු පැවසීය.

"ඒ නිසා මේ ආණ්ඩුව තියෙන තාක් කල් බැඳුම්කර හොරුන්ට දඬුවම් දේවි කියල අපිට නම් විශ්වාසයක් නැහැ."

කෙසේ වුවත් බ්‍රහස්පතින්දා ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ කියා සිටියේ, බැඳුම්කර නිකුතුවේදී සිදු වූ දූෂණ වංචා සෙවීම පිණිස සිය ආණ්ඩුව ආරම්භයේ සිටම නිසි පියවර ගත් බවය.

පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමට අයත් රුපියල් බිලියන 12 ක මුදලක් මහ බැංකුව විසින් රඳවා ගෙන තිබෙන බැවින් බැඳුම්කර නිකුතුව මගින් අයුතු ලෙස උපයාගත් බව පැවසෙන රුපියල් බිලියන 9.2 යළි අයකර ගැනීමේ හැකියාව තිබෙන බවත් අගමැතිවරයා සඳහන් කළේය.

ජනාධිපති කොමිෂන් වාර්තාවෙන් චෝදනා ලබන එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයන් සිටින්නේ නම් ඒ පිළිබඳව සොයා බලා තීරණ ගැනීම පිණිස විදේශ අමාත්‍ය තිලක් මාරපනගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කරන ලද බවත් අගමැතිවරයා නිවේදනය කළේය.

එහෙත් ඒ පිළිබඳව ප්‍රතිචාරය පළ කරමින් විජිත හේරත් මන්ත්‍රීවරයා, "තිලක් මාරපන මහත්මයා, රනිල් වික්‍රමසිංහ මහත්මයට දඬුවම් දෙයිද?" යනුවෙන් ප්‍රති ප්‍රශ්නයක් මතු කළේය.

තවත් කියවන්න: