කාන්තා දේශපාලනය කාන්තා ගැටලුවලට පිළිතුරු සෙවීම සඳහා පමණක් ද?

Image copyright Getty Images

ලබන පෙබරවාරි මස 10 වෙනි දින පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයේ කාන්තා නියෝජනය පිළිබඳව බීබීසී සිංහල සේවය ගෙන එන ලිපි මාලාවක තෙවැන්න ලෙස, මොරටුව විශ්වවිද්‍යාලයේ කථිකාචාරිනී කෞශල්‍යා හේරත් සම්පාදනය කළ ලිපියකි, මේ.

*********

ලෝකයේ පළමු රාජ්‍ය නායිකාව බිහි කිරීමේ ගෞරවය ද ආඩම්බරය ද දශක හයකට ආසන්න කාලයක සිට ශ්‍රී ලංකාව අත්දකිමින් සිටී. රාජ්‍ය නායිකාවක බිහි කරගැනීමේ ආසන්නතම අවස්ථාව පසුගිය වසරේ අහිමි කරගත් ඇමරිකා එක්සත් ජනපදයට පිළිතුරු ලෙස, නිදහසින් පසු කාන්තා රාජ්‍ය නායිකාවන් දෙදෙනෙකු බිහි කිරීම පිළිබඳව අපි උදම් අනමින් සිටින්නෙමු.

එහෙත් 2014 වසරේ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙල නිකුත් කළ ජාතික මානව සංවර්ධන වාර්තාවට අනුව 2010 වසරේදී ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.8% කි. පළාත් සභා මට්ටමේදී එය 4%ක් ද ප‍්‍ර‍්‍රාදේශීය මට්ටමේදී එය 1.8% ක් ද වේ.

අසල්වැසි දකුණු ආසියානු රටවල් සමග සංසන්දනය කරන විට ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ කාන්තා නියෝජනය සාපේක්ෂව අවම බව පෙනේ. නේපාලයේ ජාතික මට්ටමේ දේශපාලනයේ කාන්තා නියෝජනය 32% ක් වන අතර බංග්ලාදේශයේ සහ ඉන්දියාවේ එය පිළිවෙලින් 19% ක් සහ 10% කි.

Image copyright Getty Images

ප‍්‍ර‍්‍රාදේශීය දේශපාලනයේ අඩු කාන්තා නියෝජනය පිළිබඳ ගැටලුවට පිළිතුරක් ලෙස හඳුන්වා දුන් කෝටා ක‍්‍රමයද විවිධ වාද විවාද වලට ලක් වී තිබේ.

සමාජ ජාල සහ වෙබ් අඩවි වල පවා අදහස් දක්වමින් සමහරු කාන්තා නියෝජනය වැඩි කිරීම පිළිබඳ සිය විරෝධය පළ කළහ. කාන්තා නියෝජනය ප‍්‍ර‍්‍රමාණාත්මකව වැඩි කිරීම සම්බන්ධයෙන් පොදු ජන සමාජයෙන් සහ ඇතැම් පක්ෂවලින් එල්ල වන විරෝධතාව කාන්තාවගේ සක්‍රීය දේශපාලන දායකත්වය කෙරෙහි සමාජයේ ඇති ආකල්පය පෙන්නුම් කරන්නකි.

සැබවින්ම කාන්තාව හා දේශපාලනය අතර ඇති දුරස්ථභාවය කාන්තාවගේ දේශපාලන නියෝජනයට වඩා ගැඹුරට විහිදෙන ගැටලුවකි.

කාන්තාවගේ සමාජ දේශපාලන දායකත්වය පිළිබඳ අදහස් දැක්වූ එක්තරා ප‍්‍ර‍්‍රාදේශීය දේශපාලකයෙක් වරක් ප‍්‍රකාශ කළේ කාන්තාවගේ ප‍්‍රධාන භූමිකාව මවක හා බිරිඳක ලෙස කටයුතු කිරීම බැවින් ඇය දේශපාලනයට උචිත නොවන බවය. සමාජ ජාල වල අදහස් දැක්වූ ඇතැමෙකුගේ අදහස ද මීට නොවෙනස් බව පැහැදිලි විය.

Image copyright Getty Images

කාන්තාවගේ අවකාශය නිවසට ලඝු කිරීම නිවැරදි ද? එය දේශපාලන නියෝජනයට බලපාන්නේ කෙසේද?

ඒ පිළිබඳව අදහස් දක්වමින් සමාජ ක්‍රියාකාරිනියක හා මැතිවරණ නිරීක්ෂිකාවක වන කේපී සෝමලතා ප‍්‍රකාශ කළේ: "දේශපාලනය කියන්නේ, කාන්තාවට අයිති දෙයක් නෙවෙයි කියලා තමයි සමාජයේ ආකල්පය හැදිලා තියෙන්නේ. කාලයක් අපේ අම්මලාව මරණාධාර සමිතියකටවත් ගෙදරින් යැව්වේ නෑ, මොකද ගෑණුන්ට තීන්දු තීරණ ගන්න බෑ කියලා තමයි අදහස තිබුණේ."

මේ තත්ත්වය යටතේ බහුතරයක් කාන්තාවන් සිය දේශපාලනික අදහස් සහ මතවාද තමන් තුළම නිහඬ කර ගැනීම සාමාන්‍ය සමාජයේ කාන්තාවන් අතර දක්නට ලැබෙන්නකි.

තවත් කියවන්න:

දේශපාලන රැස්වීම්වලට පමණක් නොව ඇය සමාජයීයව සහ දේශපාලනිකව සවිබල ගැන්විය හැකි කිසිදු අවස්ථාවකට සහභාගි වීමට කාන්තාවට ඇති අවස්ථාව පවා අහිමි වීම සෑම සමාජ ස්ථරයකම අඩු වැඩි වශයෙන් දක්නට ලැබෙන්නකි. විශේෂයෙන්ම ග‍්‍රාමීය සහ පහළ ආර්ථික මට්ටම්වල සමාජ කොටස්වල කාන්තාවගේ සමාජ හා අවකාශ භාවිතය පිළිබඳ දුර්මුඛයන් වර්තමානයේදී පවා පවතී.

Image copyright KAUSHALYA HERATH
Image caption කථිකාචාරිනී කෞශල්‍යා හේරත්

ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය ලබන වැඩි පිරිසක් කාන්තාවන් වුවද, ශ‍්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2016 වාර්තාවකට අනුව කාන්තාවන් අතර රැකියා නියුක්ති අනුපාතය 36.5% ක් වේ. කාන්තාවන් අධ්‍යාපනයෙන් පසු විවාහයක් සිදු කර ගැනීමෙන් අනතුරුව මවක ලෙස වගකීම් ඉටු කිරීම උදෙසා නිවසේ නතර වීම මෙයට එක් හේතුවකි.

කාන්තාවගේ ප‍්‍රධාන භූමිකාව ඇගේ ජීව විද්‍යාත්මක සහ ප‍්‍රජනන කාර්යය බව ශ්‍රී ලංකාවේ පොදු ජන සමාජයේ බොහෝ දෙනා තවමත් සළකන බව ප‍්‍රසිද්ධ කාරණයකි. මෙය සෑම සමාජ ස්ථරයකම අඩු වැඩි වශයෙන් දක්නට ලැබේ. එසේම ඇගේ දේශපාලනික හා සමාජයීය දැනුම සම්බන්ධයෙන් "ගෑණුන්ගේ නුවණ හැඳි මිටේ දිගයි" යන ආකල්පය තවමත් බොහෝ පිරිස් විද්‍යමාන කරති.

එසේම කාන්තාවට දේශපාලන අවකාශයට පිවිසෙන දොරගුළු සෘජුව මෙන්ම වක‍්‍රාකාරවත් වසා දමනු ලැබ තිබේ.

කාන්තාවට ළමා කල සිට පුරුදු කරන දිවි පැවැත්මට දේශපාලන අවකාශය ඉතා දුරය. කාන්තාවන් එකිනෙකා හමුවන ස්ථාන දේශපාලන අර්ථයකින් හඳුනා නොගැනෙන අතර, එම අවකාශ ඕපාදූප සංගම් ලෙස හා ඔවුන්ගේ කතා "ගෑණු කතා" හෝ ඕපාදූප ලෙස ගර්හාවට ලක්වන අවස්ථා අනන්තය.

Image copyright Getty Images

ලංකාවට සර්වජන ඡන්ද බලය හඳුන්වා දීමේදී ස්ත්‍රී පුරුෂ සියලු දෙනාටම සමානව එම අයිතිය ද, ඊට අනුබද්ධිතව සමාන දේශපාලනික බලයක් ද ලබා දුන් නමුත්, ලබාදුන් බලය හා සමාජය විසින් ලබාගෙන පවත්වාගෙන යන බලය අතර පැහැදිලි වෙනසක් තිබේ.

ස්ත්‍රී පුරුෂ සමාජභාවී අනන්‍යතාව මත පදනම් නොවුණු සම දේශපාලනික බලයක් සර්වජන ඡන්ද අයිතියෙන් අදහස් වුව ද, සමහර කාන්තාවන්ගේ ඡන්ද අයිතිය ඇගේ පවුලේ හෝ ස්වාමි පුරුෂයාගේ මතයෙන් බලපෑමට ලක් වී තිබේ. කාන්තාවන් වශයෙන් සිය ස්වාමියාගෙන් ස්වාධීන දේශපාලන මතයක් දැරීම ම, සිය ස්වාමියාට කීකරු නොවීම හා යහපත් බිරිඳක් හා ගෘහණියක් නොවීම ලෙස සළකන කාන්තාවන් ග‍්‍රාමීයව මෙන්ම නාගරිකව ද මට මුණ ගැසී තිබේ.

ඡන්දය යනු රහසිගතව ප‍්‍රකාශ කරන දෙයක් වුවත් කාන්තාවගේ ඡන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතියට පිරිමියාගෙන් ඇති බලපෑම නොසලකා හැරිය නොහැකිය.

සිය බිරිඳ තමන් අකමැති දේශපාලන පක්ෂයකට සහයෝගය දෙනු ඇතැයි සැක කරන අවස්ථා වලදී, ඇය ඡන්ද පොලට යෑම බලහත්කාරයෙන් වලක්වන අවස්ථා සහ ඇගේ ජාතික හැඳුනුම්පත හංගා සූක්ෂමව ඇයගේ ඡන්ද අයිතිය උල්ලංඝනය කරන අවස්ථා පිළිබඳ කටකතා ද සමාජයේ පැතිරී තිබේ.

Image copyright Getty Images

මෙවැනි ක්‍රියා මැතිවරණ ප‍්‍රචණ්ඩ ක්‍රියා ලෙස වාර්තා නොවන අතර, එවැනි ක්‍රියා මැදිහත් නොවිය යුතු පවුල් ආරවුල් ලෙස පොදු ජනතාව සළකනු ලැබේ.

සමහර අවස්ථා වලදී කාන්තාවන් සිය ස්වාමියාගෙන් සිදුවන මතවාදී සහ අනෙකුත් බලපෑම් වලට විරෝධතාවය දැක්වීමක් ලෙස ස්වාමියා සහයෝගය දක්වන පක්ෂයට හෝ අපේක්ෂකයාට ඡන්දය ලබා දෙන බව පොරොන්දු වී වෙනත් දේශපාලන පක්ෂයකට හෝ අපේක්ෂකයෙකුට ඡන්දය ලබා දෙන අවස්ථා ද දක්නට ලැබේ.

එක්තරා ප‍්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිකයෙකු හා නාගරික මන්ත්‍රිවරියක පේ‍්‍රම සම්බන්ධයක් ආරම්භ කළ පසු ඇගේ පෙම්වතාට සමාජ ජාල ඔස්සේ විවිධ පුද්ගලයන් යෝජනා කළේ ඇය ක්‍රියාකාරී දේශපාලනයෙන් සහ සමාජ ක්‍රියාකාරකම් වලින් නිදහස් කරගෙන ඇය යහපත් පවුල් ජීවිතයකට යොමුකර ගන්නා ලෙසය.

මෙම යෝජනා අතරින් බහුතරය "යහපත්" චේතනාවෙන් කෙරුණු යෝජනා වේ.

කෙසේ වෙතත් ඇය "බේරා ගැනීමට" පුරුෂයෙකුට වගකීම බාර දෙන්නේ ඇයි? ඇයගේ දේශපාලනය සහ සමාජ ක්‍රියාකාරකම් "පිරිමි"ලක්ෂණ ලෙසින් හඳුන්වමින් ඇය "ස්ත්‍රීත්වයට" පමුණුවන විවිධ යෝජනා ඉදිරිපත් කරන පුද්ගලයන් විශ්වාස කරන්නේ දේශපාලනය කාන්තාවට නුසුදුසු දෙයක් බවය.

Image copyright Getty Images

ලාංකේය දේශපාලනය මඩ ගොහොරුවක් ලෙස අර්ථ දැක්වීමත්, එය පුරුෂ මූලික අවකාශයක් ලෙස අත්දැකීමත් නිසා බොහෝ කාන්තාවෝ දේශපාලනයට ඒමට මැලිකමක් දක්වති.

දේශපාලනයට සම්බන්ධ වූ බොහෝ කාන්තාවෝ සිය පියාගේ, සහෝදරයාගේ හෝ ස්වාමියාගේ අභාවය නිසා හෝ ඔවුන්ගේ මඟ පෙන්වීම යටතේ දේශපාලනයට පැමිණියෝ වෙති. මෙවැනි පිරිමි දේශපාලන ශක්තියකින් තොරව දේශපාලනයට පිවිසීම ඉතා දුෂ්කර කාර්යයකි.

එසේ දේශපාලන පවුල් පසුබිමකින් තොරව දේශපාලනයට පැමිණීමට උත්සාහ කරන කාන්තාවන්ට සිය ලිංගිකත්වය හා සමාජභාවී අනන්‍යතාව මත පදනම් වී ශාරීරිකවත් මානසිකවත් විවිධ අඩන්තේට්ටම් වලට ගොදුරු වීමට සිදුවේ.

නොඑසේනම් කාන්තාවන්ට දේශපාලනය තුළ පැවතීමට "පිරිමි ලක්ෂණ" ලෙස සමාජය හඳුන්වන ලක්ෂණ ආරෝපණය කර ගැනීමට සිදු වේ.

Image copyright Getty Images

පිරිමි දේශපාලන ශක්තියක් සමඟ දේශපාලනයට පිවිසෙන කාන්තාවන් ඔවුන්ගේ කුලීන සංස්කෘතික ස්ත්‍රීත්වයට ලඝු කොට සැලකීමට ප‍්‍රධාන දේශපාලන ධාරාව කැමති වේ. බොහෝ කාන්තාවෝ සිය පැවැත්ම උදෙසා එම අනන්‍යතාව පවත්වාගෙන යති.

මේ තොරතුරුද දැනගන්න:

කාන්තා දේශපාලනඥයින්ට ලැබෙන අමාත්‍යාංශ පවා බොහෝ දුරට කාන්තා කටයුතු සහ ළමා කටයුතු වැනි විෂයන්ට සීමා වේ.

පසුගිය කාල වකවානුවේ ඉතා කැපී පෙනෙන ලෙස ජනප්‍රිය කලාකාරිනියන් දේශපාලනයට පිවිසීම පිළිබඳ දැඩි උපහාසාත්මක ප‍්‍රතිචාර පොදු සමාජයෙහි සහ සමාජ මාධ්‍ය ජාලවල දක්නට ලැබිණි. කාන්තා නියෝජනය වැඩි කිරීම යනු මෙවන් දේශපාලනිකව සවිඥානික නොවූ පිරිසක් දේශපාලනයට ගෙන ඒම ද වැනි තර්කත් එහිදී ඉදිරිපත් විය.

එනමුත් මෙහිදී දේශපාලන සවිඥානිකත්වය ප‍්‍රශ්න කිරීමටත් වඩා බහුලව දක්නට ලැබුනේ මෙම කාන්තාවන්ගේ ජනප්‍රියත්වය, ඔවුන්ගේ රැකියාව හෙවත් ඔවුන්ගේ රඟපෑම් සහ පෞද්ගලික ජීවිතයේ තොරතුරු සම්බන්ධ කර ඔවුන් අපහාසයට සහ උපහාසයට ලක් කිරීම්ය. විශේෂයෙන්ම මෙම හැසිරීම පොදුවේ දේශපාලනයේ යෙදෙන කාන්තාවට බලපෑම් කිරීමට සහ කාන්තාවන්ගේ දේශපාලන භාවිතය හා සාක්ෂරතාව පහත් කර සැලකීමට භාවිත කරනු දක්නට ලැබිණි.

Image copyright Getty Images

එසේම කාන්තාවන්ට අනිවාර්ය දේශපාලන නියෝජනය ලබා දීමට විරුද්ධ පිරිස් භාවිත කළ තවත් තර්කයක් වූයේ ප‍්‍රමාණාත්මකව කාන්තාවගේ දේශපාලන නියෝජනය වැඩි කිරීම තුළ සැබෑ ලෙසම සෑම සමාජ ස්ථරයකම කාන්තාවන් නියෝජනය නොවන බවය.

මෙහි යම් කිසි සත්‍යයක් අන්තර්ගත වේ.

මෙය කාන්තා දේශපාලනය සම්බන්ධයෙන් පමණක් නොව සියලුම දේශපාලඥයින්ට පොදු තත්ත්වයක් වුවත් කාන්තා දේශපාලන නියෝජනයේ ඉතිහාසය සලකා බලන විට බහුතරයක්ම එක්තරා සමාජ ස්ථරයක් නියෝජනය කරන බව පැහැදිලිව පෙනේ. එනම් යම්කිසි දේශපාලන පවුල් පසුබිමක් ඇති කාන්තාවන් සහ නාගරික කාන්තාවන් වශයෙනි.

ඒ අනුව ගත් කළ අනිවාර්ය කාන්තා නියෝජන කෝටාවක් ලබා දුන්නද සාමාන්‍ය සමාජයේ කාන්තාවට දේශපාලනයට පිවිසීමට ඉඩක් නොලැබෙනු ඇති බව මෙම පිරිසගේ අදහසය.

දේශපාලන පක්ෂ සහ ආසන සංවිධායකයින්ගේ අදහස වූයේ ද සමහර ආසනවල නාමයෝජනා සඳහා කෝටාව පිරවීමට තරම්වත් කාන්තා ඉදිරිපත් වීමක් සිදු නොවූ බවය.

අනිවාර්ය කාන්තා නියෝජනයකින් නොව, සමාජ අභ්‍යන්තරයේ ඇති කාන්තාවට සම දේශපාලන අයිතිය ලබා නොදෙන ක‍්‍රමය වෙනස් කර, කාන්තාවන් නිසර්ගයෙන්ම දේශපාලනයට සක්‍රීයව දායකවන ක‍්‍රමයක් ඇති කිරීමෙන්ම කාන්තාවගේ දේශපාලනය නියෝජනය වැඩි කළ යුතු බව තවත් සමහරුන්ගේ අදහස වී තිබුණි.

Image copyright Getty Images

ශ්‍රී ලාංකේය පොදු සමාජයීය කාන්තාවගේ දේශපාලනික සවිඥානිකත්වය සහ සක්‍රීය දායකත්වය යනු අනිවාර්යයෙන්ම අත්පත් කරගත යුතු අරමුණකි.

එහෙත් සාමාන්‍ය සමාජයේ කාන්තාවගේ දේශපාලන දායකත්වය අඩු වීම හා කාන්තා දේශපාලන නියෝජනය අඩු වීම යන ගැටලු දෙකෙන් මුලින් විසඳිය යුත්තේ කුමන ගැටලුවද යන්න මුලින් බිහි වූයේ කිකිළිය ද බිත්තරය ද යන කියමනට පිළිතුරු සෙවීම වැනි උභතෝකෝටිකයකි.

ශාරීරිකව ස්ත්‍රී වුවද සැබෑවටම ස්ත්‍රී මතයක් නොදරා පුරුෂ මූලික අදහස්ම ප‍්‍රතිස්ථාපනය කරන කාන්තාවන්ගෙන් මේ නියෝජනය සමන්විත වීමෙන් අපේක්ෂිත කාන්තා නියෝජනය ඉටු නොවන බව තවත් තර්කයකි.

කාන්තාව දේශපාලනයට පැමිණිය යුත්තේ කාන්තාව නියෝජනය කිරීම උදෙසා හෝ කාන්තා ගැටලුවලට පිළිතුරු සෙවීම උදෙසා පමණක් නොවේ.

දේශපාලනයට එන සියලුම කාන්තාවන් ස්ත්‍රීවාදීන්වීම අත්‍යවශ්‍ය නැත. ඇය භෞතිකව කාන්තාවක් වීම තුළම ඇය දේශපාලනයට වෙනස් මානයක් එකතු කරන බව පැහැදිලිය.

Image copyright Getty Images

කාන්තාවගේ දේශපාලන දායකත්වය වැඩි කිරීමට කෝටාවක් ලබා දීම තුළ අනෙකුත් ආන්තික සමාජභාවී අනන්‍යතාවක් ඇති පිරිස් තවදුරටත් ආන්තිකකරණය කෙරෙන බවට චෝදනා ද මේ කතිකාවත තුළ දක්නට ලැබේ. එමගින් සර්වජන දේශපාලන අයිතිය නිසි පරිදි ක්‍රියාත්මක වන රටක් කරා යන ගමනට එක් කෙටි පියවරක් ගෙන තිබුනත් ඒ ගමන සියලු පාර්ශවකරුවන් එක්ව යා යුතු දුර ගමනක් බව පැහැදිලිව පෙනී යන්නකි.

(මෙහි දැක්වෙන්නේ කථිකාචාරිනී කෞශල්‍යා හේරත්ගේ පුද්ගලික අදහස් .)

තවත් තොරතුරු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර