තුර්කි ක්‍රියාමාර්ගයට එරෙහිව ප්‍රංශය ආරක්ෂක මණ්ඩලය කැඳවයි

Image copyright AFP
Image caption තුර්කි යුද්ධ ටැංකි සිරියාව තුළට

තුර්කි පාබල හමුදාව උතුරු සිරියාවේ එෆ්‍රින් (Afrin) කලාපයට ඇතුල් වූ බව එරට මාධ්‍ය වාර්තා කරයි.

'කුර්දි' ජාතික සන්නද්ධ ප්‍රහාරකයන් දේශසීමාවේ පිහිටි නගරයකට රොකට් මගින් පහර දීමෙන් පසු එම කැරලිකරුවන් විසින් වටලා ඇති එෆ්‍රින් (Afrin) නගරයේ ස්ථාන රැසකට තුර්කිය ෂෙල් ප්‍රහාර එල්ල කර ඇත.

සෙනසුරාදා රාත්‍රියේ කිලිස් (Kilis) නගරයට එල්ල වූ ප්‍රහාරවලදී කිසිවකුට හානි සිදු වී නැති බව තුර්කිය පවසයි.

මේ අතර තුර්කි ප්‍රහාර මගින් එෆ්‍රින් (Afrin) නගරයේ සාමාන්‍ය වැසියන් ද ඇතුළුව නව දෙනකු මරණයට පත්ව ඇති බව කුර්දි YPG සන්නද්ධ ව්‍යාපාරය පවසයි.

තුර්කි අගමැති බිනාලි යිල්දිරීම් (Yildirim) අදහස් දක්වමින්,සිය පාබල හමුදා සිරියානු භූමියට ඇතුල්වීමේ ඉඩකඩ කල්තබාම ප්‍රකාශයට පත් කරනු ලැබ තිබුණි.

ඉන් අනතුරුව සිරියානු භූමියට ඇතුල් වෙන තුර්කි යුද්ධ ටැංකි දැකගත හැකිවිය.

එම ගොඩබිම මෙහෙයුමට පෙර 150 කට වැඩි ගුවන් ප්‍රහාර එල්ල කළ බවත් තුර්කිය කියා සිටියි.

Image caption සිරියාව අභ්‍යන්තරයේ කිලෝමීටර් තිහක (30) ආරක්ෂක තීරයක් නිර්මාණය කර ගැනීම තුර්කියේ සැලසුම වෙයි

දේශසීමාවේ ක්‍රියාත්මක වෙමින් සිටින කුර්දි ප්‍රහාරකයන් මැඩලීමේ මෙහෙයුමක කොටසක් වශයෙන් උතුරු සිරියාවට පිවිසීමට තීන්දු කරන ලද බවත් තුර්කි අගමැතිවරයා පවසයි.

ඒ අනුව සිරියාව අභ්‍යන්තරයේ කිලෝමීටර් තිහක (30) ආරක්ෂක තීරයක් නිර්මාණය කර ගැනීම තුර්කියේ සැලසුම වෙයි.

ඉස්ලාමීය ජිහාඩ්වාදී IS ප්‍රහාරකයන්ට එරෙහිව සටන් වදින කුර්දි YPG සන්නද්ධ ව්‍යාපාරයට ඇමෙරිකා එක්සත් ජනපදයේ සහයෝගය ලැබෙයි.

එවැනි තත්වයක් පවතිද්දී එක්සත් ජනපදයත් සමඟ දැනටමත් පවතින ගැටුම්කාරී සබඳතා තවත් අනතුරුදායක තත්වයකට තල්ලු කළ 'අන්කාරා' පාලනය කුර්දි විරෝධී යුද සැලසුම සෙනසුරාදා ප්‍රකාශයට පත් කළේය.

නිදහස් සිරියානු හමුදාව(Free Syrian Army) නම් සංවිධානයේ ප්‍රහාරකයන් ද සමඟ සිය හමුදා සිරියාව කිලෝමීටර් පහක් පමණ සිරියාව අභ්‍යන්තරයට දැනටමත් ගමන් කර ඇති බව තුර්කියේ රාජ්‍ය පුවත් සේවයක් වාර්තා කරයි.

එහෙත් ප්‍රතිප්‍රහාර එල්ල කරමින් තුර්කි හමුදා එෆ්‍රින් (Afrin) කලාපයෙන් පසුබස්වන ලද බව මේ අතර YPG කුර්දි කැරලිකරුවෝ කියා සිටිති.

Image caption ගොඩබිමින් ඇතුල්වීමට පෙර ගුවනින් ප්‍රහාර එල්ල කරනු ලැබුණි

නීතියෙන් තහනම් කරනු ලැබ ඇති PKK කුර්දි කම්කරු පක්ෂය මෙන්ම සිරියාවේ සිටින කුර්දි ප්‍රහාරකයන් ද මැඩලන බවට තුර්කි ජනාධිපති එර්දෝගන් සඵත කරයි.

"අපේ ප්‍රහාරක ජෙට්යානා බෝම්බ හෙලීම ආරම්භ කළා.දැන් ගොඩබිමෙනුත් මෙහෙයුමක් සිදු කෙරෙනවා. දැන් අපි බලාගෙන ඉන්නේ YPG කුර්දි කැරලිකාරයෝ පැනල යන්නේ කොහොමද කියලයි. අපි ඔවුන් ලුහු බඳිනවා. ඉතා ඉක්මනින් මේ මෙහෙයුම ඉවර කරනවා" තුර්කි ජනාධිපතිවරයා පවසයි.

අද ඉරිදා (ජනවාරි 21)ප්‍රකාශයක් කළ සිරියාවේ ජනාධිපති බෂාර් අල් අසාද් තුර්කිය සිය රට තුළට ඇතුල්වීම හෙළා දුටුවේය.

පවතින ඉහත කී තත්වය හමුවේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ හදිසි රැස්වීමක් කැඳවන ලෙස ඉල්ලා සිටින බව ප්‍රංශ විදේශ ඇමති ෂෝන් - ය්වෙස් ලෙ ඩ්‍රී පවසයි.

සබැඳි පුවත්;