පළාත් පාලන මැතිවරණය: ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ තුළ ස්ත‍්‍රී විරෝධයක් පවතීද?

Image copyright Getty Images

පෙබරවාරි 10 වෙනිදාට යෙදී තිබෙන පළාත් පාලන මැතිවරණය පිළිබඳව බීබීසී සිංහල සේවය වෙනුවෙන් මේ ලිපිය සම්පාදනය කළේ එඩින්බරා විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධි අපේක්ෂිකාවක වන චූලනී කොඩිකාර සහ කාන්තා හිමිකම් ක්‍රියාකාරිනී කුමුදිනි සැමුවෙල් විසිනි.

**********


මෙවර පළාත් පාලන මැතිවරණය හේතු ගණනාවක් නිසා වැදගත් වන්නකි:

  1. පළාත් පාලන මැතිවරණය පවත්වනු ලබන්නේ කල් දැමීම් කිහිපයකින් අනතුරුවය
  2. 2015 අගෝස්තු මස බලයට පත් වූ ජාතික හවුල් ආණ්ඩුව විසින් පවත්වනු ලබන පළමු මැතිවරණය මෙයය
  3. පළාත් පාලන ක‍්‍රමය සඳහා 2012 දී හඳුන්වා දී, 2017 සංශෝධනය කරනු ලැබූ නව මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමය යටතේ පවත්වන පළමු මැතිවරණයත් මෙයය
  4. පළාත් පාලන ආයතන තුළ කාන්තාවන්ගේ නියෝජනය 25% ක් අනිවාර්ය කිරීම ක්‍රියාවට නංවන පළමු මැතිවරණය ද මෙයය

ශ‍්‍රී ලංකාවේ පළාත් පාලන මට්ටමේ මැතිවරණ ප‍්‍රතිසංස්කරණවල ඉතිහාසය සහ දේශපාලනය පිළිබඳව මෙන්ම එළඹෙන මැතිවරණය පිළිබඳව ද බොහෝ දෑ ලිවීමට සහ කීමට ඇති නමුත්, අප මෙහිදී කාන්තාවන් වෙනුවෙන් වෙන් කරන ලද පංගුව පිළිබඳව පමණක් සාකච්ඡා කරන්නෙමු.

කෙටි ඉතිහාසයක්

ශ‍්‍රී ලංකාවේ පළාත් පාලන ආයතනවල ඉතිහාසය වසර 1946 දක්වා දිව යන්නකි.

1977 වසරේදී ප‍්‍රාදේශීය සභා, නගර සභා සහ මහනගර සභා යන ස්ථර තුනකින් යුත් ක‍්‍රමය හඳුන්වා හඳුන්වා දීමෙන් පසු පළාත් පාලන ආයතන නව පණක් ලැබීය. එම ආයතන සඳහා වන මැතිවරණ ක‍්‍රමය ද 1977 වසරේදී කොට්ඨාස පදනම් කරගත් සරල බහුතර ක්‍රමයක සිට, සමානුපාතික නියෝජනය සහ ලැයිස්තු ක‍්‍රමය පදනම් කරගත් මැතිවරණ ක්‍රමයක් දක්වා මාරු විය. (මුලින්ම මෙය ක්‍රියාත්මක කරන ලද්දේ 1989 වසරේදීය*)

සමානුපාතික නියෝජනයේ අක‍්‍රමිකතා දුරලීම සහ 1989 දී අත්හැර දමන ලද කොට්ඨාස ක‍්‍රමයේ ධනාත්මක ලක්ෂණ යළි හඳුන්වා දීම සඳහා කේවල කොට්ඨාස* ක‍්‍රමය සහ සමානුපාතික නියෝජනය සංයුක්ත කරන ලද මිශ‍්‍ර මැතිවරණ ක‍්‍රමයක් 2012 වසරේදී හඳුන්වා දෙන ලදී.

Image copyright Keystone/Hulton Archive/Getty Images

2017 වසරේදී පළාත් පාලන මැතිවරණ පනතට ගෙන ආ වැඩි දුර සංශෝධනය (2017 අංක 16 දරණ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන*) පනත) මගින් දැන් පළාත් පාලන නියෝජිතයන් සමානුපාතික නියෝජන ක‍්‍රමය යටතේ ද පත් වන අතර, ඉන් 60% ක් පමණ තනි නියෝජිත හෝ බහු නියෝජිත කොට්ඨාස නියෝජනය කරමින් ද, 40% ක් පමණ කොට්ඨාස ක‍්‍රමයට ඡන්ද පදනමක් නොමැති "අතිරේක තැනැත්තන්" ලැයිස්තුවකින් ද පත් වන බවට සහතික කරනු ලැබේ.

පළාත් පාලන ආයතන සඳහා වන නියෝජිතයින් සංඛ්‍යාව 4486 සිට 8356ක් දක්වා ඉහළ නංවා තිබේ. සංශෝධනයේ 27(ඊ) අනුව, සෑම පළාත් පාලන ආයතනයකම මුළු නියෝජිතයින් සංඛ්‍යාවෙන් 25% ක් කාන්තාවන්ගෙන් සමන්විත විය යුතුය.

මිශ‍්‍ර නියෝජිත සමානුපාතික මැතිවරණ ක‍්‍රමය සහ කාන්තාවෝ

මෙම නව ක‍්‍රමය යටතේ, සෑම දේශපාලන පක්ෂයක්ම නාමයෝජනා පත‍්‍ර දෙකක් භාර දිය යුතුය - පළමු නාමයෝජනා පත‍්‍රය තුළ අඩංගු වන්නේ එක් එක් පළාත් පාලන බල ප‍්‍රදේශය තුළ කොට්ඨාස සඳහා වෙන් කරන ලද නියෝජිතයන්ගේ නම් ලැයිස්තුවකි. කොට්ඨාස සඳහා නම් කරනු ලබන නියෝජිතයන්ගෙන් අවම වශයෙන් 10%ක් වත් කාන්තාවන් විය යුතුය.

දෙවන ලේඛනය අමතර තැනැත්තන්ගේ නාම ලේඛනය වන අතර, ඉන් 50% ක් කාන්තාවන් විය යුතුය.

Image copyright Getty Images

කෙසේවුවත්, කොට්ඨාස මට්ටමින් එක් ඡන්දදායකයකු හට සලකුණු කළ හැක්කේ තම කැමැත්ත අනුව එක් දේශපාලන පක්ෂයකට හෝ ස්වාධීන අපේක්ෂක කණ්ඩායමකට පමණි.

මැතිවරණය අවසානයේ, කොට්ඨාස ගණනාවකින් සමන්විත වන පළාත් පාලන ප‍්‍රදේශය තුළ දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් ලබා ගත් මුළු ඡන්ද සංඛ්‍යාව ගණන් බැලීමෙන් අනතුරුව, කොට්ඨාස තුළින් සහ අමතර තැනැත්තන්ගේ නාමලේඛන තුළින් එක් එක් පක්ෂවලට හිමි වන නියෝජිතයින් සංඛ්‍යාව ගණනය කිරීම සඳහා එය යොදා ගනු ලැබේ. මැතිවරණ ප‍්‍රතිඵල තහවුරු කිරීමෙන් අනතුරුව මැතිවරණ කොමසාරිස්වරයා විසින් එය සිදු කරනු ලැබේ.

මෙය සිදු කිරීම සඳහා නියෝජිතයකු වීමට කොපමණ ඡන්ද ප‍්‍රමාණයක් අවශ්‍ය වන්නේද යන්න කොමසාරිස්වරයා විසින් පළමුව තීරණය කළ යුතුය.

මෙය ගණනය කරනු ලබන්නේ, සියලු පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් විසින් ලබා ගත් මුළු සංඛ්‍යාව, එක් එක් පළාත් පාලන අධිකාරිය සඳහා නියමිත නියෝජිතයින් සංඛ්‍යාවෙන් බෙදීම මගිනි. (මෙම සංඛ්‍යාව ගැසට් කරනු ලැබේ*). ඉන් අනතුරුව, එක් එක් දේශපාලන පක්ෂය සහ ස්වාධීන කණ්ඩායම ලබා ගත් මුළු ඡුන්ද සංඛ්‍යාව නියෝජිතයකු වීම සඳහා අවශ්‍ය ඡන්ද සංඛ්‍යාවෙන් බෙදනු ලබන අතර, එමඟින් එක් එක් පක්ෂය මඟින් පත් කෙරෙන නියෝජිතයින් සංඛ්‍යාව නිශ්චය කරනු ලැබේ.

Image copyright chulani kodikara/kumudini samuel
Image caption මූලාශ‍්‍රය: ගයනි පේ‍්‍රමතිලක, නීති නිලධාරී, පළාත් පාලන අමාත්‍යංශය

යම් හෙයකින් පක්ෂයක් තමාට හිමි නියෝජිතයන් සංඛ්‍යාවට වඩා අඩු කොට්ඨාස ප‍්‍රමාණයක් දිනා ඇති විට, එකී අඩු නියෝජිතයින් සංඛ්‍යාව තරඟ කොට පැරදුණු පළමු නාමයෝජනා පත‍්‍රය තුළින් සහ අමතර තැනැත්තන්ගේ නාමයෝජනා පත‍්‍රය තුළින් තෝරා ගනු ලැබේ.

මැතිවරණ කොමසාරිස්වරයා විසින් මෙම ගණනය කිරීම් සම්පූර්ණ කිරීමෙන් අනතුරුව කාන්තාවන් සඳහා 25% ක් වෙන් කිරීම සඳහා වන එක් එක් පක්ෂයේ වගකීම තීරණය කරනු ලබන්නේ, කොට්ඨාස මට්ටමින් පළාත් පාලන ආයතනය තුළට තේරී පත් වූ කාන්තාවන් ප‍්‍රමාණය සලකා බැලීමෙනි.

මෙම සංඛ්‍යාව දැනගත් වහාම, පළාත් පාලන ආයතනය තුළ කාන්තා නියෝජනය 25% ක් බව තහවුරු කිරීම සඳහා, එක් එක් දේශපාලන පක්ෂයේ සහ ස්වාධීන කණ්ඩායමේ අමතර තැනැත්තන්ගේ ලේඛනය තුළින් ගත යුතු කාන්තාවන් ප‍්‍රමාණය කොපමණ ද යන්න කොමසාරිස්වරයා විසින් තීරණය කරනු ලබයි.

මේ තොරතුරුද දැනගන්න:

දේශපාලන පක්ෂයක් තුළින් තේරී පත් වන සාමාජිකයින් සංඛ්‍යාව "ඉක්මවා ගොස්" තිබේ නම් සහ එමඟින් නියෝජිතයින් ලෙස තේරී පත් වීමට අවශ්‍ය යයි තීරණය කර ඇති ඡන්ද සංඛ්‍යාව ඉක්මවා යයි නම් සහ එහි කිසිදු කාන්තා නියෝජිතයකු තේරී පත්ව නොමැති විට, 25% ක් වූ කාන්තා නියෝජිතත්වය ආරක්ෂා කරනු ලබන්නේ අනෙකුත් දේශපාලන පක්ෂවල සමානුපාතික නියෝජන ආසන හරහා ය.

Image copyright chulani kodikara/kumudini samuel
Image caption මූලාශ‍්‍රය: ගයනි පේ‍්‍රමතිලක, නීති නිලධාරී, පළාත් පාලන අමාත්‍යංශය

මීට සමානවම, යම් දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් පළාත් පාලන අධිකාරියේ ප‍්‍රදේශය තුළ 20% කට අඩු ඡන්ද ප‍්‍රමාණයක් ලබා ගෙන තිබේ නම් සහ නියෝජිතයන් තුනකට අඩු සංඛ්‍යාවක් සඳහා හිමිකම් කියයි නම්, අමතර තැනැත්තන්ගේ ලේඛනය තුළින් කාන්තාවන් පත් කිරීමට ඔවුන්ට ද හැකියාවක් නොමැත.

මෙහි ප‍්‍රතිඵලයක් ලෙස, නව අනිවාර්ය වෙන් කිරීමේ ක‍්‍රමය අනුව, පළාත් පාලන අධිකාරීන්හි කාන්තා නියෝජනය සම්පූර්ණ කිරීමේ වගකීම, බහුතර ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා පක්ෂය වෙත නොව, දෙවනුව ඉහළ ඡන්ද සංඛ්‍යාවක් ලබා ගන්නා පක්ෂ මත පැටවීමට ඉඩ තිබේ.

අනිවාර්ය වෙන් කිරීමේ වැදගත්කම

මෙම වෙන් කිරීම වූ කලී, ක‍්‍රියාකාරිනියන්, සංවිධාන සහ ජාතික කාන්තා කමිටුව විසින් 20 වසරක් පුරා, පොදුවේ දේශපාලනය තුළ සහ විශේෂයෙන් පළාත් පාලන ආයතන තුළ අවම කාන්තා නියෝජනය පිළිබඳ ගැටලුව ආමන්ත‍්‍රණය කිරීම සඳහා දියත් කළ දිගු කාලීන අරගලයක ප‍්‍රතිඵලයකි.

දේශපාලන පක්ෂ තුළ පුරුෂ මූලික සංස්කෘතියෙහි බලපැවැත්ම සහ මැතිවරණවලදී කාන්තාවන්ට නාමයෝජනා ලබා දීම අතිශයින් අඩු වීම හේතුවෙන් ශ‍්‍රී ලංකාවේ පළාත් පාලනය තුළ කාන්තා නියෝජනය ඓතිහාසිකව ගත් කළ ඉතා පහළ මට්ටමක පැවති අතර කිසි විටෙකත් 2% ඉක්මවා නොගියේය. නිදසුනක් ලෙස, ඉතිහාසය පුරා ප‍්‍රධාන සාමූහිකත්වයන්/පක්ෂ තුළ කාන්තාවන් සඳහා ලබා දුන් නාමයෝජනා ප‍්‍රතිශතය සාමාන්‍යයෙන් 4% සිට 10% අතර ප‍්‍රමාණයක් විය.

Image copyright LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images

සමානුපාතික නියෝජනයේ සිට මිශ‍්‍ර ක්‍රමය දක්වා මාරු වීම පිළිබඳ විධිමත් හෝ නිල සාකච්ඡා 2000 වර්ෂයේ මුල් කාලයේ ආරම්භ වූ අතර, එය දශකයකට වැඩි කාලයක් ඇදී ගියේය.

එම සාකච්ඡා ප‍්‍රධාන වශයෙන් කේන්ද්‍ර වූයේ විශාල, ස්ථාවර දේශපාලන පක්ෂවල අවශ්‍යතා සහ වුවමනාවන් සපුරාලීම හා පවත්නා තත්ත්වය, විශේෂයෙන්ම ඓතිහාසික නියෝජන ස්වරූපයන් තවදුරටත් පවත්වාගෙන යන්නේ කෙසේද සහ ඡන්ද පදනම් හා ඡන්දය ප‍්‍රකාශ කිරීමේ රටාවන් ආරක්ෂා කිරීම හා සුළුතර පක්ෂ සඳහා වඩාත් සාධාරණ නියෝජනයක් සුරක්ෂිත කිරීම යන මාතෘකා වටාය.

විස්මයජනක ලෙස, අනෙකුත් ඓතිහාසිකව කොන් කරනු ලැබූ කණ්ඩායම් සහ ඡන්දදායකයින්, විශේෂයෙන්ම නියෝජිත දේශපාලනය තුළ තරුණයන් සහ කාන්තාවන් මෙන්ම, විවිධ මැතිවරණ ප‍්‍රතිසංස්කරණ හරහා කාන්තාවන් අත් විඳි කොන් කිරීම් සහ වෙනස්කොට සැලකීම් සඳහා පිළියම් යොදන ලෙස කරනු ලැබූ අඛණ්ඩ ඉල්ලීම් ද මෙම ක‍්‍රියාවලිය තුළ මුළුමනින්ම අමතක කරන ලදි.

ඇත්තෙන්ම, මිශ‍්‍ර ක‍්‍රමය හඳුන්වා දෙනු ලැබූ 2012 වසරේ නීතිය මඟින් වයස අවුරුදු 18 ත් 35 ත් අතර තරුණයන් සහ කාන්තාවන් සඳහා වන අනිවාර්ය වෙන් කිරීම මුළුමනින්ම ඉවත් කොට, ඒ වෙනුවට දේශපාලන පක්ෂවලට කිසිදු ප‍්‍රතිවිපාකයක් රහිතව අමතක කොට දැමිය හැකි කාන්තාවන් සහ තරුණයින් සඳහා වන 25% ක අභිමතානුසාරී වෙන් කිරීමක් හඳුන්වා දෙන ලදි.

Image copyright LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images

එවැනි පසුබිමක් තුළ ප‍්‍රාදේශීය මට්ටමින් ආරම්භ කර, කොට්ඨාස තුළ ජනතාව සහ ඔවුන්ගේ නියෝජිතයින් අතර සමීප සම්බන්ධයක් කෙරෙහි මඟ පෙන්වමින්, දේශපාලනය ප‍්‍රජාතන්ත‍්‍රීයකරණය කිරීමට නව මැතිවරණ ක‍්‍රමවේදය අපට අවස්ථාව සලසා දී තිබේ.

තවදුරටත්, කාන්තාවන් සඳහා අනිවාර්ය ආසන සංඛ්‍යාවක් වෙන් කිරීම මගින්, කාන්තාවන් නියෝජිත දේශපාලනයේ පොදු අවකාශය තුළට ගෙන ඒම, කාන්තාවන් දේශපාලනයෙහි නිරත වීම ඉහළ නැංවීම, කාන්තාවන්ට දේශපාලනය කිරීමට ඇති හැකියාව පිළිබඳ මහජන ආකල්පය වෙනස් කිරීම සහ දේශපාලනය සඳහා විශාල ලෙස වියදම් කිරීමේ මුල් බැසගත් දේශපාලන සංස්කෘතිය, අනුග‍්‍රාහකත්වය, දූෂණය සහ ප‍්‍රචණ්ඩත්වය නතර කිරීම සඳහා ඓතිහාසික අවස්ථාවක් සලසා දී තිබේ.

එහෙත් මෙම අනිවාර්ය වෙන් කිරීම සහ එමගින් කාන්තාවන් සඳහා 25% ක නියෝජනයක් තහවුරු කරනු ලැබීම අධිතක්සේරු කළ නොහැකිය.

එහි සැකැස්ම සහ ක‍්‍රියාත්මක වීම තුළ ගැටලුකාරී තත්ත්වයන් තවමත් දැකිය හැක.

මෙම වෙන් කිරීම මඟින් පළාත් පාලන අධිකාරීන් තුළ කාන්තා නියෝජනය සැලකිය යුතු ලෙස ඉහළ නංවන නමුත්, එය භෞතිකව පවත්නා පිරිමි අධිකාරීත්වයට අභියෝග නොකරයි. ආසන ගණනාවක් (60%*ක්) සඳහා කොට්ඨාස මට්ටමින් තරග වදින නමුත්, එම ආසන හෝ කොට්ඨාසවලින් කාන්තාවන් සඳහා වෙන් වන්නේ 10% ක් පමණි.

කොට්ඨාසයක් ජයග‍්‍රහණය කිරීම වූ කලී ආසනයක් හිමි වන බවට තහවුරු කිරීමක් වන අතර, කොට්ඨාසය අයත් වන කුඩා ඡන්ද බල ප‍්‍රදේශය නිසා පහසුවෙන් හා අඩු වියදමකින් ඡන්ද ව්‍යාපාරය පවත්වාගෙන යාමට ද, ඡන්ද දායකයින් හඳුනා ගැනීමට ද පහසුව සලසයි.

Image copyright LAKRUWAN WANNIARACHCHI/AFP/Getty Images

කාන්තාවන්ගෙන් බහුතරය නාමයෝජනා පත‍්‍රය තුළින් තේරී පත් වන අතර, එහෙයින් තමාගේම ඡන්ද කොට්ඨාසයක් නොමැති වන අතර, එසේ ගොඩ නඟා ගැනීමට සහ ඡන්දදායකයින් සමඟ සබඳතා තර කර ගැනීමට ඇති අවස්ථාව ද අහිමි වී යයි.

ඔවුන් කිසිවකුට වග නොකියන කණ්ඩායමක් ලෙස පෙනී යනු ඇති අතර, එහෙයින් බරපතල ලෙස ගණන් නොගැනීම නිසා පළාත් පාලන ආයතන තුළ ඔවුන්ගේ කාර්යක්ෂමතාවට සහ සමාන සහභාගිත්වයට බාධා පැමිණෙනු ඇත.

කොට්ඨාස සඳහා තරඟ වැදීමට කාන්තාවන් නම් කිරීම, කාන්තාවන්ට නාමයෝජනා ලබා දෙන කොට්ඨාස කවරේදැයි තීරණය කිරීම සහ සමානුපාතික නියෝජන ලැයිස්තුවට කාන්තාවන්ගේ නම් ඇතුළත් කිරීම යනාදියෙහි වගකීම පක්ෂය සතු වෙයි.

ඇත්තෙන්ම, එය බහුතරය පිරිමින් වන පළාත් පාලන සහ දිස්ත‍්‍රික්ක මට්ටමේ පක්ෂ සංවිධායකයින් සතු වන්නකි.

මෙම ක‍්‍රමය අභියෝගයට ලක් නොවී පවතින අතර, නාමයෝජනා ලබා ගැනීමට සහ ඡන්ද විමසීමෙන් අනතුරුව සමානුපාතික නියෝජන ලැයිස්තුව තුළින් පත්වීම් ලබා ගැනීමට තම පක්ෂවල දේශපාලන බලය දරණ තැනැත්තන් මත යැපීමට කාන්තාවන්ට සිදු වේ.

කිසියම් පක්ෂයක් ඡන්ද බහුතරයක් ලබා ගැනීමට සමත් වේ නම්, තරග වදින සියලූ කොට්ඨාසවල ආසන දිනා ගැනීමට හැකි වන අතර, අතිරේක ලැයිස්තුවෙන් පත් වන නියෝජිතයින් සඳහා ආසනයක් ලබා ගැනීමට ඇති පදනම කවරේ ද යන්න අවිනිශ්චිත ය.

ඔවුන්ට ද කොට්ඨාසයෙන් පිටත සම්පූර්ණ පළාත් පාලන අධිකාරී බල ප‍්‍රදේශය තුළ ඡන්ද ව්‍යාපාරය පවත්වා පක්ෂ වෙනුවෙන් ඡන්දය රැස් කිරීමට සිදු වේ.

එහෙයින්, කාන්තාවන්ට වැඩිපුර මැතිවරණ ව්‍යාපාරයේ යෙදීමට සිදු වන නමුත්, ආසනයක් හිමි වේ දැයි සහතිකයක් නොලැබේ.

දේශපාලන පක්ෂ තුළ පවත්නා ස්ත‍්‍රී විරෝධය හේතුවෙන්, කාන්තාවන් යනු අතරමැදියන් කොට්ඨාසයක් ලෙස ද, 25% ක ප‍්‍රතිශතය යනු අනවශ්‍ය වරප‍්‍රසාදයක් ලෙස ද දකිනු ලබන අතර, ඒ හේතුවෙන් කාන්තාවන්ට නොයෙකුත් බිය ගැන්වීම් සහ සමානුපාතික නියෝජන ලැයිස්තුව යටතේ තරඟ වදින අනෙකුත් පිරිමි නියෝජිතයින් වෙතින් තර්ජන ඇති වී තිබේ.

එමෙන්ම, ඉහතින් විස්තර කළ අන්දමට, කාන්තාවන් සඳහා 25% ක ප‍්‍රතිශතයක් වෙන් කිරිමේ අවසාන වගකීම සියලු පක්ෂ කෙරෙහි සමානව බෙදී නොයයි.

එහෙයින්, ප‍්‍රාදේශීය දේශපාලනය තුළ ස්ත‍්‍රී පුරුෂ සමාජභාවී සබඳතා වෙනස් කිරීමට මෙම අනිවාර්ය වෙන් කිරීම සතු වන හැකියාව කෙරෙහි, මෙකී විවිධ දිශානතීන්හි ප‍්‍රතිඵල විසින් ඇති කරනු ලබන බලපෑම තවමත් පෙනෙන්නේ නැත.

(මෙහි දැක්වෙන්නේ චූලනී කොඩිකාර සහ කුමුදිනි සැමුවෙල්ගේ පුද්ගලික අදහසය. ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් සකස් කළ ලිපිය කෞශල්‍යා ආරියරත්න විසින් සිංහලට පරිවර්තනය කරන ලදි)

තවත් තොරතුරු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර