ශ්‍රී ලංකාවෙන් ගමන් ඇරඹි ලෝක පාපන්දු කුසලානය

Image copyright Maithripala Sirisena

වසර 2030 වන විට දකුණු ආසියාවේ දක්ෂතම පාපන්දු කණ්ඩායම බවට ශ්‍රී ලංකාව පත්කිරීම ඉලක්ක කරගනිමින් නව පාපන්දු සැලැස්මක් එළිදැක්වීම බදාදා (ජනවාරි 24) සිදුවිය.

ඉහත කී සැලැස්ම එළිදැක්වූයේ ජූනි මාසයේ රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන 2018 ලෝක පාපන්දු ශූරතා තරගාවලියේ කුසලානය පිළිගැන්වීම සඳහා කොළඹ පැවති උත්සවයකදීය.

ලොව පුරා මහාද්වීප හයක් ඔස්සේ රටවල් 54ක මහජන ප‍්‍රදර්ශනය සඳහා රැගෙන යන චාරිකාවේ ප්‍රථම ගමනාන්තය ලෙස 'ෆීෆා' කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ඒම සිදුවූ අතර පාපන්දු ලෝක කුසලානයක් ශ්‍රී ලංකාවට රැගෙන ආ පළමු අවස්ථාව ද මෙයය.

මේවන විට ජාත්‍යන්තර පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල ශ්‍රී ලංකාව දැඩි ලෙස පහළ ගොස් 200 වෙනි ස්ථානයේ සිටින අතර ශ්‍රී ලංකාව සමග කරට කර සිටි මාලදිවයින් කණ්ඩායම ශ්‍රේණිගත කිරීම්වල 150 වෙනි ස්ථානයේ පසුවේ.

ඔබේ දුරකථනයේ හෝ පරිගණකයේ මෙය වාදනය කිරීමට අදාළ මෘදුකාංග නැත
පාපන්දු ලෝක කුසලානය ශ්‍රී ලංකාවේ

ලෝක කුසලානය ශ්‍රී ලාංකික ක්‍රීඩා ලෝලීන්ට දැක බලාගැනීමට සංවිධානය කර තිබූ උත්සවය අතරවාරයේ ශ්‍රී ලංකාවේ වත්මන් පාපන්දු ක්‍රීඩාව ගැන බීබීසී සිංහල සේවය කළ විමසීමකට පිළිතුරු දුන් පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා කියා සිටියේ, පාපන්දු ක්‍රීඩාව බිම් මට්ටමේ සිට 2030 වසර ඉලක්ක කරගනිමින් දියුණු කිරීමට සැලසුමක් ක්‍රියාත්මක කරන බවය.

පසුගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ජාත්‍යන්තර තරග එතරම් ක්‍රීඩා නොකිරීම ද ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම්වල 200 වැනි ස්ථානය දක්වා පහළ බැසීමට හේතුවී ඇති බව ඔහු කියා සිටියේය.

අඟහරුවාදා (ජනවාරි 23) විශේෂ ගුවන් යානයකින් ශ්‍රී ලංකාවට රැගෙන ආ පාපන්දු ලෝක කුසලානය භාරව පැමිණි 1998 වසරේ ලෝක කුසලානය දිනු ප‍්‍රංශ පාපන්දු කණ්ඩාමේ සාමාජික ක්‍රිස්ටියන් කරෙම්බු බීබීසී වෙත අදහස් දක්වමින්, ලෝක කුසලානය ශ්‍රී ලංකාවට රැගෙන ඒම ශ්‍රී ලංකාව වැනි රටවල පාපන්දු ක්‍රීඩාව දියුණු කිරීමට වැදගත් වනු ඇති බව සඳහන් කළේය.

කුඩා ළමුන් තව තවත් පාපන්දු ක්‍රීඩාවට යොමුකිරීමට මෙවැනි අවස්ථා වැදගත් බව ද ඔහු කියා සිටියේය.

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාව ලෝක ශ්‍රේණිගත කිරීම්වල 200 වෙනි ස්ථානයේ සිට ඉදිරියට ගැනීමට කළ යුත්තේ කුමක් දැයි විමසූ විට ඔහු කියා සිටියේ පාපන්දු ක්‍රීඩකයන්ට වෘත්තීමය ලෙස ක්‍රීඩා කිරීමට අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවය.

ලෝක කුසලානය බදාදා සවස මාලදිවයින බලා ගෙනයාමට නියමිතය.

තවත් තොරතුරු: