ශ්‍රී ලංකාවේ ධීවර නීතියට තමිල්නාඩුවේ විරෝධය

Image caption ශ්‍රී ලංකා ජල තීරයේ දී අල්ලා ගත් ඉන්දීය ධීවර බෝට්ටුවක්

ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඇතුල් වෙන විදේශීය ධීවරයන් සම්බන්ධයෙන් අධික දඩ මුදලක් නියම කිරීමට සිදු වුණේ ශ්‍රී ලංකාවට අයත් මත්ස්‍ය සම්පත සහ එමගින් යැපෙන දේශීය ධීවරයන් ආරක්ෂා කර ගැනීමට බව ධීවර අමාත්‍යාංශය පවසයි.

දඩ මුදල් වැඩි කරනු ලැබීම සම්බන්ධයෙන් තමිල්නාඩු ප්‍රාන්තයේ මහඇමතිවරයා දැනටමත් විරෝධය පළකර ඇති අතර එම ප්‍රශ්නයට මැදිහත් වෙන ලෙස ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිගෙන් ඉල්ලීමක් කර ඇත.

එහෙත් එවැනි විශාල ප්‍රමාණයේ දඩ ගැසීම් යෝජනා කිරීමට සිදුවුණේ අනවසර ධීවර ප්‍රශ්නය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට නොහැකි වූ තත්වයක් යටතේ බව බීබීසී සිංහල සේවය සමඟ සාකච්ඡාවකට සහභාගී වූ ධීවර සහ ජලජ සම්පත් භාර රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි සඳහන් කළේය.

ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඇතුළුවී සිදු කරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු වැළැක්වීමේ අරමුණින් ධීවර පනත සංශෝධනය කරමින් විදේශීය ධීවර යාත්‍රාවලට බල පැවැත්වෙන නව පනත් කෙටුම්පත (Foreign Fishing Vessels Bill) ධීවර ඇමති මහින්ද අමරවීර විසින් පසුගිය බදාදා (ජනවාරි 24) ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුණි.

එම කෙටුම්පතට අනුව මෙරට මුහුදු සීමා උල්ලංඝණය කරන විදේශීය ධීවර යාත්‍රා සඳහා පනවනු ලබන දඩ මුදල මෙතෙක් අය කරන ලද මුදලට වඩා විශාල ප්‍රමාණයකින් වැඩි කරනු ලැබ ඇත.

Image copyright Sri Lanka navy
Image caption ශ්‍රී ලංකා මුහුදු ජල තීරය දැක්වෙන සිතියමක්

නව දඩ මුදල් නිර්දේශ කෙරෙන පනත් කෙටුම්පත ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීමෙන් අනතුරුව ඊට විරෝධය පළ කරන තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති එඩප්පාඩි කේ.පලනිස්වාමි, ශ්‍රී ලංකාව නිර්දේශ කරන අලුත් දඩ මුදල ඉන්දීය ධීවරයන්ට දැරිය නොහැකි මට්ටමක පවතින හෙයින් එම ප්‍රශ්නයට මැදිහත් වෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩිගෙන් ඉල්ලීමක් කරයි.

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ විදේශ කටයුතු භාර අමාත්‍යංශය හරහා පියවර ගන්නා ලෙසත් තමිල්නාඩු මහ ඇමතිවරයා අගමැති මෝඩි වෙත යොමුකරන ලද ලිපිය මගින් යෝජනා කර ඇත.

ඉහත කී පරිදි අනවසර ධීවරයන්ට නියම කෙරෙන දඩ මුදල් විශාල වශයෙන් ඉහළ නැංවීම පිළිබඳ දැඩි අප්‍රසාදය පළ කරන තමිල්නාඩු ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරයා, දෙරට අතර කලක් පවතින ධීවර ගැට‍ළුවට ස්ථීර විසඳුමක් ලබා ගැනීම සඳහා පැවැති සාකච්ඡා අනුව බලන විට දඩ මුදල් වැඩිකරනු ලැබීම පිළිගත නොහැකි විසඳුමක් බව පෙන්වා දී ඇත.

ශ්‍රී ලංකාව විසින් පැනවීමට යන අලුත් නීතිය අනුව ඉන්දීය ධීවරයන් දීර්ඝ කාලයක් සිරභාරයේ තැබිය හැකි වෙන අතර ඔවුන් විශාල දඩ මුදල්වලට යටත් කරනු ලැබීමේ අනතුරක් පවතින බවත් තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයා සිය අගමැතිවරයාට පෙන්වා දෙයි.

එම දඩය ඉන්දියානු රුපියල් කෝටි කීපයක් විය හැකි බවත් තමිල්නාඩු මහ ඇමතිවරයා පවසයි.

Image caption ශ්‍රී ලංකා මුහුදට ඇතුල්වී සිටියදී අල්ලා ගත් ඉන්දියානු ධීවරයන් පිරිසක්

ශ්‍රී ලංකා ආණ්ඩුවේ නව නීතිය නිසා පෝක් සමුද්‍ර සන්ධියේ ධීවර කර්මාන්තයේ නිරත වෙන තමිල්නාඩු ධීවරයන්ට 'ශ්‍රී ලංකා ආණ්ඩුවේ කරුණාව යටතේ ක්‍රියා කිරීමට සිදුවෙන තත්වයක් උද්ගත කෙරෙන්නේය' යන්න තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමතිවරයාගේ අදහසයි.

"මිනිසුන්ගේ ජීවිකා වෘත්තියට අදාළ ඉතා සංවේදී ප්‍රශ්නයක් සඳහා දිගුකාලීන විසඳුමක් සොයා ගැනීම සඳහා ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ ඇමතිවරුන් දෙවතාවක් ද, දෙරටේ ඒකාබද්ධ ධීවර ක්‍රියාකාරී කණ්ඩායම් අවස්ථා තුනක් ද මුණගැසී සාකච්ඡා පවත්වා ඇති වාතාවරණයක් පවතිද්දී ශ්‍රී ලංකාව විසින් එවැනි පියවරක් ගැනීම මෙය ඉතාම අවාසනාවන්ත තත්වයකි"තමිල්නාඩු ප්‍රාන්තයේ මහ ඇමති එඩප්පාඩි කේ.පලනිස්වාමි ඉන්දීය අගමැතිවරයාට යවා ඇති ලිපියේ දැක්වෙයි.

තමිල්නාඩු මහ ඇමතිවරයා මතු කරන කරුණු සම්බන්ධයෙන් බීබීසිය ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිචාරය විමසූ විට ඊට පිළිතුරු දුන් ධීවර රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි, ශ්‍රී ලංකා ජල තීරයට අනවසරයෙන් ඇතුල් වෙන තමිල්නාඩු ධීවරයන් තහනම් පන්න ක්‍රම උපයෝගී කර ගනිමින් සමස්ත මුහුදු පත්ලම සූරා ගන්නා බවට චෝදනා කළේය.

"ඉන්දියාවේ ධීවර කර්මාන්තයට සම්බන්ධ සහ ඊට සම්බන්ධයක් නැති වෙනත් ව්‍යාපාරික ක්‍ෂේත්‍රවල කණ්ඩායම් අපේ මුහුද ආක්‍රමණය කරමින් අපේ මත්ස්‍ය සම්පත කොල්ල කනවා. ඔවුන් උතුරු නැගෙනහිර වෙරළ තීරය විනාශ කරනවා. අපි මේ ගැන ඉන්දීය මහ ආණ්ඩුවට කිව්වා. ඒත් ඉන්දියාවේ මහ ආණ්ඩුව කියන දේවල් තමිල්නාඩුව පිළි ගන්නේ නැහැ. ඒ නිසා දඩ මුදල් දෙතුන් ගුණයකින් වැඩි කිරීමට අපි පියවර ගත්තා" ධීවර රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි පවසයි.

Image caption තවත් ඉන්දීය ධීවරයන් පිරිසක් ශ්‍රී ලංකා මුහුදු තීරයේ

එහෙත් මුහුදේ දී යාන්ත්‍රික දෝෂයක් නිසා පාවී එන බෝට්ටුවලට සහ මසුන් ඇල්ලීම සඳහා දේශීය ජල තීරයට ඇතුල්වෙන බෝට්ටුවලට නියම කෙරෙන දඩ මුදල් අඩුවැඩි වෙන බවත් රාජ්‍ය ඇමතිවරයා සඳහන් කරයි.

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ අගමැතිවරුන් දෙරටේ ධීවර ඇමතිවරුන් ද සහභාගී කර ගනිමින් අනවසර ධීවරයන් පිළිබඳ ප්‍රශ්නයට විසඳුමක් සොයා ගැනීමේ ප්‍රයත්නයක් දරන ලද නමුත් තමිල්නාඩුව එම විසඳුම් භාර නොගනිමින් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තවත් කාලය ඉල්ලා සිටින බවත් ධීවර රාජ්‍ය ඇමති දිලිප් වෙදආරච්චි කියා සිටියි.

ඉන්දීය ධීවර යාත්‍රා සතියකට දිනතුනක් වන බැගින් ශ්‍රී ලංකාවට අයත් මුහුදු තීරයට ඇතුල්වී මසුන් මැරීම නිසා රටට අහිමි වෙන ආදායම රුපියල් කෝටි නවසීය ඉක්මවන බව ධීවර සහ ජලජ සම්පත් භාර ඇමති මහින්ද අමරවීර පවසයි.

Image caption අනවසර ධීවරයන් පිළිබඳව දෙරටේ ධීවරයන් අතර සාකච්ඡාවක්

සතියකට ඉන්දියානු ධීවර යාත්‍රා පන්සීයකට අධික සංඛ්‍යාවක් ශ්‍රී ලංකා මුහුදු තීරයට ඇතුල්වීමෙන් අහිමි වෙන මත්ස්‍ය සම්පත ටොන් හයදාහක් පමණ වෙන බව ඇමතිවරයා පෙන්වාදෙයි.

සබැඳි පුවත්;