ජනපතිගේ රැලිය ආවරණය කිරීමට ගිය මාධ්‍යවේදීන්ට "තර්ජන"

Image copyright Chamara Sampath Dasanayake
Image caption ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් බදුල්ලේ පැවති රැලියට එක්ව සිටි අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සහ ඌව මහඇමති චාමර සම්පත් දසනායක

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඉරිදා (ජනවාරි 28) බදුල්ලේ පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන මැතිවරණ රැලිය ආවරණය කිරීමට ගිය තමන්ට තර්ජනය කර පලවා හැරිය බවට චෝදනා කරමින් මාධ්‍යවේදීන් දෙදෙනෙකු පොලිසියට පැමිණිලි කරති.

සිරස සහ දෙරණ යන මාධ්‍ය ආයතන වෙනුවෙන් එහි ගිය තමන්ට අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ මහජන සම්බන්ධතා නිලධාරී අජිත් හික්කඩුව ලියනගේ තර්ජනය කර පලවා හැරිය බව කපිල කුරුප්පුආරච්චි සහ ජයලත් දිසානායක යන මාධ්‍යවේදීහු පවසති.

ඌව මහඇමති චාමර සම්පත් දසනායක විසින් බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගස්සවනු ලැබූ බව පැවසෙන සිදුවීම වාර්තා කිරීම තමන් සහ සිය සගයා සමග එසේ උරණ වීමට හේතු වී ඇතැයි මාධ්‍යවේදී කපිල කුරුප්පුආරච්චි සඳහන් කරයි.

කෙසේ නමුත් ඉහත කී මාධ්‍යවේදීන් දෙදෙනාට තර්ජනය කළ බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරමින් අජිත් හික්කඩුව ලියනගේ බීබීසී සිංහල සේවය වෙත කියා සිටියේ මහඇමතිවරයා හා විදුහල්පතිනිය "දණ ගස්සවනු ලැබීමේ සිදුවීම" පිළිබඳ "ඒකපාර්ශවීය වාර්තාකරණයක" යෙදුණේ ඇයි දැයි යන්න පමණක් තමන් ඔවුන්ගෙන් විමසා සිටි බවය.

Image caption තර්ජනයට ලක් වූ බව පපැවසෙන මාධ්‍යවේදීන් දෙදෙනා

පළමු ශ්‍රේණිය සඳහා සිසුවියක ඇතුළත් කර නොගැනීමේ හේතුව මත බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනි ආර් භවානි සිය නිල නිවසට කැඳවා තර්ජනය කර දණ ගැස්ස වූ බවට ඌව මහඇමතිවරයාට චෝදනා එල්ල වී තිබේ.

අදාළ සිසුවිය පාසලට ඇතුළත් කර ගන්නා මෙන් ඉල්ලා ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලගේ මහජන සම්බන්ධතා නිලධාරී අජිත් හික්කඩුව ලියනගේ විසින් විදුහල්පතිනිය වෙත ලිපියක් ද යොමු කර තිබිණි.

"අපිට ඔයාලා වගේ මාධ්‍ය ඕන නෑ. ඔයාලනේ පහුගිය දවස්වල අපිට විරුද්ධව වැඩ කළේ. ඒ නිසා මෙතැනට එන්න එපා යන්න"

"අද මේ රැස්වීමේ පිළිගැනීමේ කතාව කරන්නෙ මම. ඔයාලා හිටියොත් මම කියනවා, අන්න අපිට විරුද්ධ වුණ දෙන්නා ඉන්නවා කියලා. මහඇමතිට ගැහුවෙ ඔයාලා කියලත් කියනවා. එතකොට මිනිස්සු මොනව කරයිද දන්නෙ නෑ. ඔයාලගෙ ගෙවල්වලටත් කරදර සිද්ධ වෙයි. අපි ඒකට වග කියන්නෙ නෑ," යනුවෙන් අජිත් හික්කඩුව ලියනගේ පැවසු බව මාධ්‍යවේදී චන්දන කුරුප්පුආරච්චි පවසයි.

ඒ අනුව ඔවුන් රැස්වීමට සහභාගී නොවී හැරී ගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් බදුල්ල පොලීසියට පැමිණිල්ලක් කර ඇත.

ඉහත කී චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාගේ මහජන සම්බන්ධතා නිලධාරී අජිත් හික්කඩුව ලියනගේ වැඩිදුරටත් කියා සිටියේ ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක තමන්ගේ මිත්‍රයෙකු මෙන්ම තමන් ඔහු හා එක්ව දේශපාලන කටයුතු ද සිදු කරන බැවින් "දණ ගැස්සවීමේ" සිදුවීම පිළිබඳ වාර්තා කළ අන්දම ගැන පමණක් ඉහත කී මාධ්‍යවේදීන්ගෙන් විමසා සිටි බවය.

සබැඳි යොමු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර