ත්‍රස්ත විරෝධී පනත ඉවත් කරන මෙන් ජාත්‍යන්තර ඉල්ලීමක්

Image copyright Getty Images
Image caption ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) යටතේ රඳවා සිටින සැකකරුවන්ගේ සංඛ්‍යාව සම්බන්ධයෙන් විවිධ ගනන්හිලව් ඉදිරිපත් වෙයි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන බවට දෙන ලද ප්‍රතිඥාව ඉටු කිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුව තවමත් අසමත්ව සිටින බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය පවසයි.

ජිනීවා නගරය මූලස්ථානය කරගත් ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය එම ප්‍රකාශය කරනු ලැබ තිබෙන්නේ අද (ජනවාරි 29 ) නිකුත් කරන ලද වාර්තාවක් මගිනි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගනු ලබන සැකකරුවන් නඩු පැවරීමකින් තොරව දීර්ඝ කාලයක් රඳවා තබා ගැනීමට ත්‍රස්තවාදය වැළක්වීමේ පනත (PTA) යටතේ ශ්‍රී ලංකා ආණ්ඩුවට නෛතික බලය ලැබෙයි.

2015 වසරේ බලයට පැමිණි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මතභේදයට තුඩු දී ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කරන බවට ප්‍රතිඥාවක් දී ඇත.

Image caption පනත අහෝසි කරන බවට ජනාධිපතිවරයා ප්‍රතිඥාවක් දුන් බව හියුමන් රයිට්ස් වොච් සංවිධානය සිහිපත් කරයි

"ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඉවත් කරන බවට ශ්‍රී ලංකා ආණ්ඩුව දුන් ප්‍රතිඥා කතාවට පමණක් සීමා වී ඇති අතර ඒ සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි" හියුමන් රයිට්ස් වොච් සංවිධානයේ ආසියාව භාර අධ්‍යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස් (Brad Adams) පවසයි.

"ශ්‍රී ලංකා ආණ්ඩුව මානව හිමිකම් ආරක්ෂා කරනු ලැබීම සම්බන්ධයෙන් අවංක උවමනාවකින් කටයුතු කරන්නේනම්, ජාත්‍යන්තර ප්‍රමිතියට අනුකූල වෙනත් නීතියක් හඳුන්වා දෙමින් ත්‍රස්තවාදයට එරෙහි දැනට බල පැවැත්වෙන ඉතා දරුණු නීතිය ඉවත් කිරීමට කඩිනම් ප්‍රමුඛත්වය දිය යුතුව ඇත" අධ්‍යක්ෂ බ්‍රැඩ් ඇඩම්ස් (Brad Adams) වැඩිදුරටත් කියා සිටියි.

"සාක්ෂි විරහිතව සිරගත කර තැබීම්; ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ සිදු කෙරෙන අපචාර" යන තේමාව යටතේ හියුමන් රයිට්ස් වොච් සංවිධානය විසින් නිකුත් කර ඇති ප්‍රකාශනය පිටු 46 කින් යුක්ත වෙයි.

Image caption ත්‍රස්තවාදය පිටුදැකීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සම්බන්ධ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත බෙන් එමර්සන්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) උපයෝගී කර ගනිමින් වධහිංසා සිදු කිරීම, ලිංගික අපචාර, බලහත්කාරයෙන් කට උත්තර ගැනීම සහ එම තත්වය සිතාමතාම දිගින් දිගටම ප්‍රතික්ෂේප කරනු ලැබීම අතීතයේ සහ දැනටත් ශ්‍රී ලංකාවේ පවතින තත්වය බව එම වාර්තාවේ දැක්වෙයි.

ශ්‍රී ලංකාව තුළ තවමත් එවැනි අතවර සිදු කෙරෙන බව නිගමනය කරනු ලබන්නේ, ත්‍රස්ත විරෝධී පනත යටතේ රඳවා ගනු ලැබ සිටි පුද්ගලයන් ,ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් සහ එම රැඳවියන් වෙනුවෙන් පෙනී සිටි නීතිවේදීන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව බවත් හියුමන් රයිට්ස් වොච් සංවිධානය සඳහන් කරයි.

එම පනත යටතේ අසූවකට අධික සැකකරුවන් දැනට අත්අඩංගුවේ පසුවෙන බව ශ්‍රී ලංකා ආණ්ඩුව ප්‍රකාශ කළත් සමාජ ක්‍රියාකාරිකයන්ට අනුව රඳවා තබනු ලැබ ඇති පුද්ගල සංඛ්‍යාව සිය ගණනක් විය හැකි බවත් හියුමන් රයිට්ස් වොච් වාර්තාවේ දැක්වෙයි.

හියුමන් රයිට්ස් වොච් සංවිධානය ඉහත කී වාර්තාව මගින් ඉදිරිපත් කරන කරුණු පිළිබඳව ශ්‍රී ලංකා ආණ්ඩුවේ ප්‍රතිචාරය විමසීමට බීබීසි සිංහල සේවය ආණ්ඩුවේ ඇමතිවරුන් කීපදෙනකු සම්බන්ධ කර ගැනීමට දරන ලද උත්සාහය අසාර්ථක විය.

Image copyright Getty Images
Image caption තම අතුරුදහන් දරුවන් සිරගෙයක සිටීමට ඉඩකඩ ඇති බවට ඇතැම් දෙම්ව්පියන් අතර බලාපොරොත්තුවක් පවතී.

ශ්‍රී ලංකාවේ සහ බ්‍රිතාන්‍යයේ සම අනුග්‍රාහකත්වයෙන් ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ සම්මත කරන ලද 30/1 දරන යෝජනාව මගින් දුන් පොරොන්දු ඉටු කිරීමෙහිලා ශ්‍රී ලංකාව ප්‍රගතියක් දක්වා තිබෙන නමුත් තවදුරටත් එහි ප්‍රගතියක් ලැබිය යුතු බව ද බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ වාර්තාවක් මගින්ද ප්‍රකාශ කර ඇත.

සබැඳි පුවත්;