රාජකීයයන් පිළිගැනීමේ "නීති": "ව්‍යාජ පුවතක්"

මහනුවර ශ්‍රී දළදා මාලිගය වෙත ගිය රාජකීය යුවල
ඡායාරූප ශීර්ෂ වැකිය,

මහනුවර ශ්‍රී දළදා මාලිගය වෙත ගිය රාජකීය යුවල

70 වෙනි නිදහස් සැමරුම් උළෙලට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයන් පිළිගැනීම සඳහා වන "රාජකීය ආචාර ආඥා පනත" යටතේ වන නීති යයි සඳහන් ලිපියක ඡායාරූප සමාජ ජාල ඔස්සේ සැරිසරමින් පවතී.

මතු දැක්වෙන්නේ "බ්‍රිතාන්‍ය රාජකීයයන් පිළිගැනීමේ කමිටුව" යයි සඳහන් ශීර්ෂය යටතේ පළ කර ඇති එම ලිපිය සමාජ ජාල තුළ හුවමාරු කර ගත් ඇතැමෙකුගේ අදහස්ය.

"තාමත් ශ්‍රී ලංකාව යටත් විජිතයකි..සුදානම් වන්න 70 වෙනි නිදහස සමරන්න.."

"සුද්දා බෝම අමාරුවෙන් අපෙන් නිදහස් වෙලා ගිහින් අවුරුදු 70ක් වෙලත් මුංගේ නිවටකම් අඩු නොවී ඇති ලස්සන."

දැනට ශ්‍රී ලංකාවට පැමිණ සිටින බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සාමාජිකයන් වන එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරිය පිළිගැනීමේ දී අනුගමනය කළ යුතු "නීති" ලෙස ඉහත කී ලිපියේ සඳහන් කරුණු සම්බන්ධයෙන් සමාජ ජාල තුළ විශාල වශයෙන් කෝපය පළ වී තිබිණි.

අදාළ ලිපිය දැක්වෙන ඡායාරූපය සිය සමාජ ජාල ගිණුම් තුළ නැවත හුවමාරු කරගත් (Share) පිරිස අතර ජනමාධ්‍යවේදීන් මෙන්ම සමාජ ක්‍රියාධරයන් ද සිටිති.

කෙසේ නමුත් එසේ සංසරණය වෙමින් පවතින "බ්‍රිතාන්‍ය රාජකීයයන් පිළිගැනීමේ කමිටුව" විසින් නිකුත් කරන ලද බව පැවසෙන ලිපිය ව්‍යාජ (Fake) ලේඛනයක් බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය සහ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය තහවුරු කරති.

ඡායාරූප ශීර්ෂ වැකිය,

සමාජ ජාල තුළ පළ වී තිබු ව්‍යාජ පුවත

බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලය හෝ ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය ඉහත කී ආකාරයේ කමිටුවක් පත් කර නොමැති බවත් ඔවුන් විසින් නිකුත් කරන ලද නිවේදනයක දැක්වේ.

ඒ සම්බන්ධයෙන් බීබීසී සිංහල සේවය වෙත අදහස් දැක්වූ විදේශ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක විසින් එවැනි ව්‍යාජ ලිපියක් පළ කිරීම හඳුන්වනු ලැබුවේ "නරියෙකුගේ ක්‍රියාවක්" ලෙසය.

එඩ්වඩ් කුමරු සහ සොෆී කුමරිය ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු ඔවුන් යෙදුනු සංචාරවල වීඩියෝ දර්ශන නරඹන අයෙකුට ඉහත කී ලිපිය ව්‍යාජ එකක් බව තහවුරු කර ගත හැකි යැයි කී රාජ්‍ය ඇමතිවරයා "ඒ යුවල පොඩි ළමයි වඩා ගත්තා, මිනිස්සුන්ට කතා කළා , මිනිස්සු සමග බොහොම සමීපව ගැවසුනා" යනුවෙන් සඳහන් කළේය.

නිදහස් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වෙන කවුරුන් හෝ නොව ශ්‍රී ලංකාවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන යැයි කී රාජ්‍ය ඇමතිවරයා ඒ සඳහා බ්‍රිතාන්‍ය, චීනය සහ ජපානය යන රටවල් තුනෙන් විශේෂ ආරාධිතයන් පමණක් සහභාගී වන බව පැවසීය.

වෙනත් රටවල මෙන්ම ශ්‍රී ලංකාව තුළත් ව්‍යාජ පුවත් පළ වීමේ ප්‍රවණතාව ඉහළ යමින් පවතී.

පානදුර සහ ඒ අවට ප්‍රදේශ තුළ සුනාමි අවදානමක් පවතින බව සඳහන් ව්‍යාජ පුවතක් පසුගිය දෙසැම්බර් මාසයේ දී සමාජ ජාල තුළ හුවමාරු විය.

ශ්‍රී ලංකාවට පැමිණ සිටින බ්‍රිතාන්‍ය රාජකීයයන් හා සම්බන්ධ ලිපිය සමාජ ජාල තුළ හුවමාරු කරගත් පිරිස අතර මාධ්‍යවේදීන් ද සිටින අතර සාමාන්‍යයෙන් පුවතක් පළ කිරීමට පෙර අවම වශයෙන් මුලාශ්‍ර දෙකකින්වත් ඒ පිළිබඳ තහවුරු කර ගැනීම ජනමාධ්‍යවේදයේ මූලික සිද්ධාන්තයකි.

තොරතුරු දැන ගැනීමේ අයිතිය

ඡායාරූප ශීර්ෂ වැකිය,

ඇමරිකාවේ ජනාධිපතිවරණයට ශ්‍රී ලාංකික සම්භවයක් සහිත පුද්ගලයෙකු තරග කරන බවට සමාජ ජලයේ පළ වූ වාර්තාව

බ්‍රිතාන්‍ය රාජකීයයන් සම්බන්ධයෙන් පළ වූ ව්‍යාජ ලිපිය පිළිබඳ බීබීසී සිංහල සේවය වෙත අදහස් දක්වමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන් විසින් ඉහත කී සිදුවීම සහ සමාජ ජාල තුළ ව්‍යාජ පුවත් පළ කිරීම හඳුන්වනු ලැබුවේ "පුද්ගලයාගේ තොරතුරු දැන ගැනීමේ අයිතිය සමාජය විසින්ම උල්ලංඝනය කිරීමක්" ලෙසය.

එය තවත් අතකින් සමාජ මාධ්‍ය ජාල තුළට පිවිසීමට ඇති අයිතිය අයුතු ලෙස භාවිත කිරීමක් බව ද මහාචාර්ය මයුර සමරකෝන් පෙන්වා දෙයි.

එවැනි ක්‍රියාවක් සමාජයට කරුණු ලබන අවමානයක් බව සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන්ගේ අදහසය.

ව්‍යාජ පුවත් පළ කිරීම තුළ සමාජීය වශයෙන් හානි දෙකක් සිදුවිය හැකි බව මහාචාර්යවරයා පෙන්වා දෙයි.

  • සමාජයේ ගැටුම්කාරී තත්ත්වයන් ඇති විය හැක
  • දිගින් දිගටම ව්‍යාජ පුවත් පළ වීම තුළ සැබෑ අවදානමක දී පවා මිනිසුන් ඒ පිළිබඳ විශ්වාසය නොතැබීම (උදාහරණ සුනාමි අවදානමක්)

"එක් පැත්තකින් ව්‍යාජ පුවත් මැවීම තුළ මධ්‍යයෙන් ජනතාව ඈත් වෙනවා. ඒ තුළ ඔවුන්ට තොරතුරු ලබා ගැනීමට සහ භාවිත කිරීමට ඇති නිදහස සහ අයිතිය පැහැර ගැනීමක් සිදු වෙනවා."

"අනෙක් අතින් ඒ හරහා විශාල ප්‍රමාණයේ ජීවිත හානි සහ විවිධ ආකාරයේ උපද්‍රවයන්ට පවා ජනතාව මුහුණ පෑමේ අනතුරක් පවතිනවා"

ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතය තුළ බොහෝ දෙනෙකු තුළින් "අසංවරශීලී මාධ්‍ය භාවිතයක්" දක්නට ඇති බව කී සමාජ විද්‍යාව පිළිබඳ මහාචාර්ය මයුර සමරකෝන්, කරුණු සොයා බලා වගකීමකින් යුතුව සමාජ ජාල භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.

ව්‍යාජ පුවතක් යනු:

ව්‍යාජ පුවත් වර්ග දෙකකි

  • සත්‍ය නොවන යමක් පිළිබඳ ජනතාව අතර විශ්වාසයක් ඇති කිරීමේ අරමුණින් හෝ වෙබ් අඩවි වෙත වැඩි අවධානයක් යොමු කරවා ගැනීම සඳහා ඇතැම් පිරිස් සිතාමතාම ව්‍යාජ පුවත් පළ කරති.
  • ඇතැම් වාර්තාවල යම් සත්‍යයක් තිබුණ ද ඒවා සම්පූර්ණයෙන් නිවැරදි වාර්තා නොවේ. උදාහරණ: පුවතක් පළ කිරීමට ප්‍රථම ඇතැම් මාධ්‍යවේදීන් හෝ බ්ලොග් ලේඛකයන් විසින් ඊට සම්බන්ධ කරුණු පිළිබඳ නිසි සොයා බැලීමක් සිදු නොකිරීම හෝ කරුණු උලුප්පා වාර්තා කිරීම.

ව්‍යාජ පුවතක් පළ කිරීමෙන් ගැලවී සිටීම සඳහා වැදගත්වන කරුණු කීපයකි.

  • අදාළ පුවත වෙනත් අයකු විසින් පළ කරනු ලැබ ඇත්දැයි සොයා බැලීම
  • අදාළ පුවත ගුවන් විදුලියේ, රූපවාහිනියේ හෝ පුවත්පතක පළකොට ඇත්දැයි සොයා බැලීම
  • අදාළ පුවත පළ කරනු ලැබ ඇති ආයතනය හෝ ෆේස්බුක් පිටුව පිළිබඳ මීට පෙර අසා තිබේද?
  • අදාළ පුවත පළ කරන ලද වෙබ් අඩවියේ විශ්වසනීයත්වය
  • ඡායාරූප හෝ වීඩියෝ දර්ශනවල ස්වභාවය (ඇතැම් විට සංස්කරණය කරන ලද ඡායාරූප සහ වීඩියෝ දර්ශන ඇතුළත් ව්‍යාජ පුවත් පළ වේ)
  • අදාළ පුවත විශ්වාස දනවන සුළු දැයි යන්න සිතාබැලීම

ඉහත කී කරුණු සම්බන්ධයෙන් සෑහීමකට පත් විය නොහැකි නම් එවැනි පුවතක් පළ කිරීමෙන් වැළකී ඒ පිළිබඳ තවදුරටත් සොයා බැලිය හැක.

සමාන පුවත්: