බැඳුම්කරය: ඇලෝසියස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයාගේ තර්කය කුමක්ද?

  • 2018 පෙබරවාරි 5
Image copyright Getty Images

මතභේදයට තුඩු දී ඇති මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පර්පචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පළිසේන යන සැකකරුවන් පෙබරවාරි 16 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ඉරිදා (පෙබරවාරි 04) පෙරවරුවේ අත්අඩංගුට ගනු ලැබීමෙන් අනතුරුව රහස් පොලිස් මූලස්ථානය වෙත රැගෙන යන ලද ඉහත කී සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කර ගනු ලැබිණි.

අනතුරුව සැකකරුවන් දෙදෙනා ඉරිදා රාත්‍රියේම මහේස්ත්‍රාත් ලංකා ජයරත්න හමුවට ඉදිරිපත් කෙරුණු අතර ඔවුන් සඳුදා (පෙබරවාරි 05) පෙරවරුව දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියම කෙරිණි.

පසුව අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය වෙත ඉල්ලීමක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ සැකකරුවන් දෙදෙනා ඇප මත මුදාහරින ලෙසය.

එම ඉල්ලීමට විරෝධය පළ කළ රහස් පොලිසිය වෙනුවෙන් පෙනීසිටි රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් යසන්ත කෝදාගොඩ අවධාරණය කර සිටියේ අදාළ සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබෙන්නේ පොදු දේපල පනත යටතේ බැවින් සුවිශේෂ හේතු නොමැතිව ඔවුන්ට ඇප නියම කිරීමට අධිකරණයට බලයක් නොමැති බවය.

ඊට ප්‍රතිචාර දක්වමින් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස සඳහන් කළේ සැකකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා එල්ල කිරීමට හැකියාවක් නොමැති බවය.

බැඳුම්කර ගනුදෙනුවට පාදක වී ඇති ප්‍රශ්නගත මුදල් පොදු දේපල යටතට නොගැනෙන බැවින් ඔවුන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා එල්ල කිරීමට හැකියාවක් නොමැති බව ද විත්තියේ නීතිඥවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විත්තියේ නීතිඥවරයාට නියම කළේ එම ඉල්ලීම ලිඛිතව ලබන 07 වෙනිදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙසය.

අනතුරුව සැකකරුවන් දෙදෙනා ලබන 16 වෙනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කෙරුණු අතර එදිනට පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් ද මහේස්ත්‍රාත්වරිය රහස් පොලිසියට නියම කළාය.

අර්ජුන් මහේන්ද්‍රන්

Image copyright Getty Images
Image caption මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන්

පර්පචුවෙල් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක කසුන් පළිසේන සහ ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ප්‍රශ්නගත මහබැංකු බැඳුම්කර ගනුදෙනුවේ සැකකරුවන් ලෙස නම් කිරීමට අධිකරණය තීන්දු කළේ රහස් පොලිසිය ඉදිරිපත් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුවය.

අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ ඒ අනුවය.

මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට පෙබරවාරි 15 වෙනිදාට පෙර රහස් පොලිසිය වෙත පැමිණ කට උත්තරයක් ලබා දෙන මෙන් ද අධිකරණය සිකුරාදා නියම කර තිබිණි.

එමෙන්ම රහස් පොලිසිය කළ තවත් ඉල්ලීමක් පිළිගත් අධිකරණය ඉහත කී සමාගමට අයත් දේපල විකිණීම පැවරීම සහ උකස් කිරීම වළක්වාලමින් තහනම් නියෝගයක් නිකුත් කළේය.

සබැඳි යොමු:

මේ පුවතට සම්බන්ධ තවත් විස්තර